දැඩි විදේශ සංචිත අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහනයක් හෝ සහයක් ඉල්ලා නොමැති බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී මසාහිරෝ නොසාකි පවසා ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකාව මූල්‍ය සහාය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කිසිදු ඉල්ලීමක් කර නොමැති වුවද රටට අවශ්‍ය නම් ඊට අදාලව ගත හැකි පියවර පිළිබඳව තම කණ්ඩායම සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව ය.
මේ අතර එම අරමුදලේ ජේෂ්ඨ නිලධාරියෙකු මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර අද හා හෙට දෙදින තුළ ඔහු ශ්‍රී ලංකාවේ ගත කරන බවත් මෙරට මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකර ඇති වාර්තාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඔහු සාකච්ඡා කරනු ඇති බවත් සඳහන් කර ඇත.
මේ අතර දැනට වාර්තා වන පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කෙබඳු ආකාරයක සහායක් ලබාගත හැකිද යන්න පිළිබඳ ලබන මාසය තුළ දී සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.
ඉතිහාසයේ දරුණුතම විදේශ සංචිත අර්බුදයකට සහ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.31ක් ලෙස සඳහන් වේ.
එම තත්ත්වය තුළ මේ වන විටත් රට තුළ විශාල ඩොලර් හිඟයක් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත නොමැති වීම තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇත.