දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට සහන ලබාදීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අදාළව ජපානය කේන්ද්‍ර කරගෙන ආධාර සමුළුවක් පැවැත්වීමට ජපානය බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන තිදෙනෙකු එම පුවත් සේවයට සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන මූල්‍ය පහසුකම සඳහා සුදුසුකම් ලැබීමට හේතුවෙන ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සහ ණය සහන ලබා දීම සම්බන්ධයෙන් එම සමුළුව පැවැත්වීමට කටයුතු කරන බවයි.
මෙම සමුළුව සඳහා ජපානය ප්‍රධානත්වය ගැනීමට සහ පහසුකම් සැලසීමට බලාපොරොත්තු වෙන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවත් ඔවුන් සඳහන් කර තිබේ.
කෙසේ වුව ද ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවල් අතර වැඩිම ණය ප්‍රමාණයක් හිමි චීනය, මෙම සමුළුව සඳහා එක් කර ගැනීමට බලාපොරොත්තු වුව ද, ඔවුන් ඒ සඳහා එකඟතාවය පළ කිරීම සම්බන්ධව අවිනිශ්චිතතාවයක් පවතී. එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ශ්‍රී ලංකාවට ආර්ථික සහය ලබා ගැනීමේ වැඩකටයුතු ද අවිනිශ්චිත මට්ටමකට පත්වෙනු ඇති බව රොයිටර් පුවත් සේවයට කරුණු දැක් වූ ජපාන මූලාශ්‍ර සඳහන් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලය තුළ, මෙවැනි ආධාර සමුළුවක අවශ්‍යතාවය අවධාරණය කළ අතර, ඔහු පසුගියදා ඒ සඳහා මූලිකත්වය ගන්නා ලෙස ජපානයට ආරාධනා ද කළේය.