පවතින දැඩි ආර්ථික අර්බුදය මත නිර්මාණය වී ඇති උද්ධමනය, ඉහළ පොලී අනුපාත සහ ආනයන සීමා කිරීම් හමුවේ දැනටමත් ශ්‍රි ලංකාවේ බොහෝ ව්‍යාපාරවල ආදායම දරුණු ලෙස පහළ වැටී ඇති බවත් ඔවුන් ලබන ලාබය අඩු වීම සහ ව්‍යාපාරයට එන මුදල් ප්‍රවාහය අවහිර වී ඇති බවත් පවසන ජාත්‍යන්තර ශ්‍රෙණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින් ආයතනය අර්බුදය තවදුරටත් ගැඹුරු වුවහොත් හෝ දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණහොත්, ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාරික අංශවලට දැඩි පහරක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි.
එම ආයතනය ඊයේ (19) මේ පිළිබඳව කෙටි වාර්තාවක් නිකුත් කළ අතර එය මෙරට කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත සමාගම්වල ක්‍රියාකාරීත්වය මත පදනම්ව වාර්තාව සකස් කොට ඇත.
ෆිච් රේටින්න්ග්ස් ආයතනය පවසන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළඳාම, විදුලිබල උත්පාදනය සහ නිවාස ගොඩනැඟීම දිගුකාලීනව වඩාත් පීඩාවට පත් වූ අංශ ලෙස හඳුනාගෙන ඇති බවයි.
ඉදිරි මාස 12ත් 18ත් අතර කාලයක් සම්බන්ධයෙන් සිය පුරෝකථන ඉදිරිපත් කරන මෙම ආයතනය පවසන්නේ සමහර ව්‍යාපාරවලට ආර්ථික අර්බුදයේ සම්පූර්ණ ප්‍රතිවිපාක මෙතෙක් නොදැනී ඇත්තේ 2022 ජූනි මස අවසන් වූ දෙවන කාර්තුවේදී ඉහළ සහ පහළ රේඛා සහ ඒවායේ ආන්තිකය වර්ධනය කර ගැනීමට ඔවුන් සමත් වූ නිසා බවය.
එහෙත් ඉහළ පිරිවැයේ බලපෑම් හේතුවෙන් ඉදිරි කාර්තු වලද එම ප්‍රතිඵල නැවත ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් එම තත්ත්වය තවදුරටත් මිල ඉහල දැමීම් සහ පාරිභෝගිකයන්ගේ ආදායම තවදුරටත් පහත වැටීමේ අවදානම හේතුවන බව පෙන්වා දුන්නේය.
ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2022 සහ 2023 දී අඛණ්ඩව පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ අතර, 2023 අවසන් වන තෙක් උද්ධමනයේ අර්ථවත් අඩුවීමක් බලාපොරොත්තු නොවන ශ්‍රි ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
“ඉල්ලුම සහ ලාභදායිත්වයට බලපාන සැලකිය යුතු පිරිවැය උද්ධමනය, ආයතනික මෙහෙයුම් කඩාකප්පල් කරන ආනයන සීමා කිරීම් සහ ඉහළ පොලී අනුපාත ඉදිරි මාස 12-18 තුළ දේශීය ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධාන අවදානම් සාධක ලෙස සැලකිය හැකියි ” ෆිච් රේටින් ආයතනය පවසයි.
ආර්ථික අර්බුදකාරී වාතාවරණය දිගටම පැවතුණහොත් දැනට ෆිච් රේටින් සමාගම විසින් ශ්‍රේණිගත කරන ලද කොළඹ කොටස් වෙළෙඳපොළ ලයිස්තු ගත දෙශිය සමාගම්වලින් සියයට 50කට පමණම සිය ශ්‍රේණිගත කිරීම් රඳවා ගැනීම කෙරෙහි දැඩි පීඩනයක් එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.
“ඉදිරි මාස හයෙන් ඔබ්බට පවතින ආනයන තහනම දීර්ඝ කිරීම, පොලී අනුපාත තවදුරටත් ඉහළ යාම, විකුණුම් මිල ඉහළ නැංවීමේ දුෂ්කරතාවලට තුඩු දෙන දිගුකාලීන උද්ධමනය සහ රජයේ සගයන්ගෙන් ලැබෙන ලැබීම් ප්‍රමාද වීම සමහර සමාගම්වල ද්‍රවශීලතා තත්ත්වයන් වේගයෙන් පිරිහීමට හේතු විය හැක“.
ෆිච් රේටින් සමාගම තවදුරටත් පවසයි.







