පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි කිඹුලාවල ප්‍රදේශයේ ජනප්‍රිය වීදි ආහාර වෙළෙඳසල්වල වෙළෙන්දන්ට ලබන සිකුරාදා (24) වන විට ඉවත් වන ලෙසට නියෝග කර ඇත.
තමන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් ලිපි නිකුත් කළ බවත්, එම නියෝගය නිකුත් කර ඇත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන බවත් වෙළෙන්දෝ අනාවරණය කළහ.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ පුද්ගලයින් විසින් මෙම වෙළෙඳසල් ඉදිකර ඇති බව සඳහන් කළ වෙළෙන්දන් කියා සිටියේ මේ වනවිට කිඹුලාවල නගරයේ ක්‍රියාත්මක වීදි ආහාර අලෙවිසැල් 30කට ආසන්න ප්‍රමාණයක් පවතින බවය.
මේ අතර කිඹුලාවල නගරයේ වීදි ආහාර අලෙවිසැල් වෙනත් ස්ථානයකට ගෙන ඒම පිළිබඳ රැස්වීමක් අද පස්වරු 2.30ට නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවැත්වීමට නියමිතය.
කිඹුලාවල නගරයේ වීදි ආහාර අලෙවිසැල් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට අදාළ වාර්තා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේය.
මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මාර්ගයේ පදිකයින්ට සහ වාහනවලට සිදුවන අවදානම් හේතුවෙන් මේ තීරණය ගැනීමට අවධානය යොමු කර ඇති බවයි.
“අපි ඉහත ප්‍රදේශයේ මාර්ගයේ පදිකයින්ට සහ වාහනවලට සිදුවන අනතුරු පිළිබඳව සලකා බැලුවා. මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන 3000ක් ද අපි හඳුනාගෙන තිබෙනවා. එම නිසා පදිකයන්ට මෙන්ම වාහනවලටද අනතුරු සිදු විය හැකි යැයි සැලකෙන ශ්‍රී ලංකාව පුරා ඇති ඕනෑම වෙළෙඳ කුටියක් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා” අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ ප්‍රදේශයේ අනෙකුත් වෙළඳසැල් හිමියන්ගෙන් නාගරික සංවර්ධන අධිකාරියට මේ පදික අහාර අලෙවිසල් පිළිබඳ පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි.
“මුලදී ව්‍යාපාරික කටයුතු සඳහා අවසර ගත්තේ සිකුරාදා සිට ඉරිදා දක්වා සවස් කාලයේ පමණයි. නමුත් දැන් වීදි ආහාර කඩ සෑම දිනකම ක්‍රියාත්මක වෙනවා. මේ හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවට පාරේ අනෙක් පැත්තේ වෙළඳසැල් පැමිණිලි ගොනු කර තිබෙනවා. ඒ වගේම පිරිසිදුකම සම්බන්ධවත් ගැටලු ඇතිවෙලා තියනවා. එම නිසා වීදි ආහාර අලෙවි ව්‍යාපාරය කරගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් හඳුන්වා දීමට නාගරික සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වෙනවා,” අමාත්‍යවරයා සඳහන් කළේය.