-
සමස්ථ අපනයන ඩොලර් ආදායමෙන් රුපියල් වී ඇත්තේ 23% යි… ගැටලුව හඳුනාගන්න මහ බැංකුව අපනයනකරුවන් 100 දෙනෙකු ඉලක්ක කරගෙන සමීක්ෂණයක් දියත් කරලා…
නියමිත කාල සීමාවන් තුළ තම අපනයන ආදායම් ලෙස ලැබෙන ඩොලර් රුපියල් බවට පරිවර්තනය කිරීමට පසුබාන අපනයනකරුවන් ඊට නිසි හේතු දැක්වීමට අපොහොසත් වෙන්නේ නම් ඔවුන් ප්‍රසිද්ධ කිරීමට තමන් කටයුතු කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.
පසුගිය අඟහරුවාදා කොළඹ පැවති ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේ අයවැය පිළිබඳ සැසියේ ප්‍රධාන දේශනය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.
අපනයනකරුවන් විසින් ප්‍රකාශ කරන ලද ඉහළ දේශීය අගයන් එකතු කිරීම් තිබියදීත්, මේ දක්වා රුපියල්වලට පරිවර්තනය කර ඇත්තේ සියයට 23ක් පමණක් බව ඔහු පැවසීය. ඇඟලුම් අපනයනකරුවන්, අපනයනයේදී සියයට 55ක් අගයක් ද, රබර් කර්මාන්තය සියයට 90ක අගයක් ද එකතු කරන බව පවසන නමුත් සමස්තයක් ලෙස සැලකීමේදී මෙරට අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය වී ඇත්තේ සියයට 23ක ප්‍රමාණයක් පමණක් බව ඔහු සඳහන් කළේය.
“ඇඟලුම් අංශය වෙන වෙනම බැලුවාම පරිවර්තන අනුපාතය සියයට 14යි. කොහොම වුණත්, දත්ත සමඟ වෙනස්කම් වෙන්න පුළුවන් කියලා මම පිළිගන්නවා.. අපි බැංකුවලින් පැහැදිලි කිරීම් ඉල්ලා හිටියත් බැංකුවලට ඔබේ පොත්වලට යන්න බෑ..”
දැනට පවතින විදේශ විනිමය රෙගුලාසිවලට අනුව, අපනයනකරුවන් සිය අපනයන ආදායමෙන් සියයට 25ක් මාසයක් ඇතුළත හා සියලුම අපනයන ආදායම දින 180ක් තුළ රුපියල්වලට පරිවර්තනය කළ යුතුය.
අපනයනකරුවන් සිය ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය නොකරන්නේ මන්දැයි වටහා ගැනීම සඳහා මහ බැංකුව දැනටමත් අපනයනකරුවන් 100 දෙනෙකු ඉලක්ක කරගෙන සමීක්ෂණයක් දියත් කර ඇති අතර ඉන් 23 දෙනෙකු සතුටුදායක පරිවර්තන අනුපාතයක් තිබූ නිසා 77 දෙනෙකුට සමීක්ෂණ ප්‍රශ්නාවලිය යොමු කළ බව අධිපතිවරයා පැවසීය. නමුත් නිසි ප්‍රතිචාර ලැබී ඇත්තේ 57 දෙනෙකුගෙන් වෙන අතර ඔවුන් විසන දෙනු ලැබ ඇති පිළිතුරු ද අපැහැදිලි බව ද ඔහු සඳහන් කළේය. ඉදිරි දෙසතිය ඇතුළත අපනයනකරුවන් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් ඔවුන් පිළිබඳ ප්‍රසිද්ධියේ පැවසීමට මහ බැංකුව පසුබට නොවන බව ඔහු අවධාරණය කළේය