ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ හිටපු මුදල් ඇමති රොනි ද මෙල් අභාවප්‍රාප්ත වි ඇත. අභාවප්‍රාප්ත වනවන විට ඔහු 98 වැනි වියේ පසු වූයේය.
ලාංකේය දේශපාලකයෙක් මෙන්ම සිවිල් සේවකයෙක් වූ රොනී ද මෙල් උපත ලබන්නේ වර්ෂ 1925 අවුරුද්දේ අප්‍රේල් 11 වැනිදා ය . කොළඹ ශානත් තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබුවේය.
රොනී වෘත්තීය සිවිල් සේවකයෙකි. ඔහු සිවිල් සේවයට සම්බන්ධ වන්නේ මේ රටට නිදහස ලැබුණු 1948 අවුරුද්දේය. කර්මාන්ත දෙපාර්තමේන්තුව, වව්නියාව කච්චේරිය, පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව වැඩ කළ රාජකාරි ඉතිහාසයක් ඔහු සතුය.
1950 දී කම්කරු හා සමාජ සේවා අමාත්‍යාංශයේ වැඩබලන සහකාර ලේකම් රොනීය. 1952 දී කම්කරු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස ඔහු පත් වුනේය. දකුණු පළාතේ දිසාපතිවරයාගේ මාතර සහකාර දිසාපති තනතුරට පත් වන්නේ ඉන් අනතුරුය.. ඉන්පසු ඔහු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස කටයුතු කළේය.
රොනී ද මැල්ගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ වර්ෂ 1964 දී ය. ලංකා පරිපාලන සේවයෙන් ඉල්ලා අස්වී රොනී දේශපාලනයට පිවිසෙන්නේය. ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙනි. මුල්ම ඡන්ද සටන 1965 දීය. 1965 මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිබිල ආසනයට ඉදිරිපත් වූ රොනී එහිදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ධර්මදාස බණ්ඩා අතින් පරාජයට පත් වන්නේය.
අනතුරුව ඔහු 1970 මහ මැතිවරණයට දෙවිනුවර ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් විය. රොනී ද මැල් ප්‍රකට ව සිටියේ දේශපාලනික පිල් මාරු කිරිමට වැඩි කැමැත්තක් දක්වන දේශපාලන චරිතයක් හැටියටය. ඒ දවස්වල සාමාන්‍ය ජනයා ඔහුට පනී ද පිල් කියාත් කීවේය.
කෙසේ වෙතත් 1977 මහ මැතිවරණයේදී රොනී දෙවිනුවර ආසනයට ඉල්ලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව, එක්සත් ජාතික පක්ෂයෙනි. රොනී දෙවිනුවරෙන් නැවත තේරී පත් වූ අතර ජේ.ආර්. ඔහුව මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන කරන්නේය.
වර්ෂ 1977 සිට 1988 දක්වා කාලය තුළ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආන්දෝලනාත්මක මුදල් ඇමතිවරයා රොනී ද මෙල්ය. මේ වකවානුව රටේ ආර්ථිකමය සහ දේශපාලන සංකල්පමය වශයෙන් පරිවර්තනීය අවධියකි. මහවැලිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගිනි. කළු ජූලිය වැනි සමාජ ව්‍යසන ඇති විය. රටේ යුද්ධයත් දකුණේ කැරැල්ලත් නිර්මාණය විය. මේ සංකීර්ණ කාල පරිච්ඡේදය තුළ ඔහු කැපී පෙනෙන දේශපාලන භූමිකාවක් රඟ දැක්වූයේය.
ශ්‍රි ලංකාවේ නිදහස් වෙළෙඳපල ආර්ථිකය ස්ථාපිත කිරීම සඳහා මූලික මෙහෙවරක් කළ රොනී ද මෙල් ජේ.ආර්. ජයවර්ධනගේ දෙවැනි ධූර කාලය අවසන් වීමෙන් පසුව 1988 ජනවාරි මාසයේදී මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. රට හැර ගිය රොනී නැවත ලංකාවට එන්නේ 1993 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසුවය.
1994 මැතිවරණයේ දී ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2000 මහ මැතිවරණයේදී සහ 2001 මහ මැතිවරණයේදී ඔහුගේ ආසනය රඳවා ගනිමින් මාතරින් මැතිවරණ ජයග්‍රහණ කළේය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් ලෙස අනතුරු වකවානුවල ඔහු කටයුතු කර ඇත.
මේ ප්‍රවීන දේශපාලනඥයාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.