විශ්‍රාමික යුද හමුදා සෙබලුන් රුසියානු කුලී හමුදා ශ්‍රමිකයින් සේ කුලී සේවයට යැවීමේ මහ මොළකරුවෙක් ලෙස ඊයේ (08) රාත්‍රියේ කුරුණෑගල වැව රවුමේ දී අත් අඩංගුවට ගත් විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල්වරයෙක් වූ දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජා රණවක මෙම පාදඩ ජාවාරම සිදුකර ඇත්තේ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙක් වූ මේජර් ජනරාල් ප්‍රසන්න රණවක ලෙස පෙනී සිටිමින් බව මේ වනවිට හෙළිදරව් වී තිබේ.
ඔහු රුසියානු හමුදාවට කුලී හේවායින් ලෙස විශ්‍රාමික යුද හමුදා සෙබලුන් බඳවා ගැනීමේ දී මුලින්ම තමන් හඳුන්වා දී ඇත්තේ මේජර් ජනරාල් රණවක ලෙසය. ඒ අවස්ථාවේ දී මෙම සෙබලුන් ඔහුගෙන් තමන් ප්‍රසන්න රණවක දැයි විමසන විට එම මේජර් ජනරාල්වරයා තමන් ප්‍රසන්න රණවක බව ප්‍රකාශ කර ඇත. ඔහු පිළිබඳව ඇති වූ විශ්වාසය මත මෙම හිටපු හමුදා සෙබලුන් වැඩිමනත් පිරිසක් දැලට පටලවා ගැනීමට ජාවාරම් කරුවන්ට හැකි වී තිබේ.
මේ වනවිට රුසියානු කුලී යුද හමුදා සේවයෙන් පැන විත් මේ වංචාව හෙළි කරන විශ්‍රාමික සොල්දාදුවන් බුද්ධි අංශවලට කටඋත්තර ලබා දී ඇත්තේ ද තමන් මෙම ජාවාරමට කොටුකළ ප්‍රධානම විශ්‍රාමික මේජර් ජනරාල්වරයා ප්‍රසන්න රණවක බවය. ඔහු නැවතී ඉන්නේ කුරුණෑගල වැව රවුමේ නිවසක බව ද වැඩිදුරට ඔවුන් හෙළි කර ඇත.
ජාවාරමට හසුවූ හිටපු සොල්දාදුවන් ලබා දෙන තොරතුරු මත මේජර් ජනරාල් ප්‍රසන්න රණවක නමින් පෙනී සිටින පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට සියලු සැලසුම් සකස් කර හිටපු මේජර් ජනරාල් ප්‍රසන්න රණවක කටුනායක ගුවන්තොටුපලින් පිටවී ගියහොත් අත් අඩංගුවට ගැනීම සඳහා ඊයේ (09) කටුනායක ගුවන් තොටුපල ද දැනුම්වත් කර තිබී ඇත.
ඒ අනුව විශ්‍රාමික හමුදා ජෙනරාල් රණවක නැමැත්තෙක් සහ සාජන් මේජර්වරයකු අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ , වෙළෙඳාම් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිපලයක් ලෙස ඊයේ (08) රාත්‍රියේ කුරුණෑගල වැව රවුමේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අවස්ථාවේ දී ද මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ මේජර් ජනරාල් ප්‍රසන්න රණවක නමිනි. පොලිස් පොත්පත්වල ද සඳහන් වී තිබී ඇත්තේ මේජර් ජනරාල් ප්‍රසන්න රණවක නැමැති නමය.
කෙසේ වෙතත් අද (09) උදෑසන සිදුකළ වැඩිදුර විමර්ශනයක දී හෙළි වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ පුද්ගලයා නොමග යවා ඇති බවය. ජාවාරම් කරු විශ්‍රාමික මේජර් ජනරාල් දැල්කඳුරේ ආරච්චිලාගේ රණරාජා රණවකය. අද රටේ සියලුම ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මේජර් ජනරාල් ප්‍රසන්න රණවක රුසියාවට කුලී හේවායන් සැපයීමේ අපරාධයට අත් අඩංගුවට ගෙන ඇති බවය.
යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියෙක් වූ ප්‍රසන්න රණවක පාවා දෙමින් මිනිස් ජාවාරම කළ මේ පහත් හමුදා මේජර් ජනරාල්වරයාගේ මාෆියා කල්ලිය ඇතුළු විවිධ කණ්ඩායම් කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 500කට වැඩි පිරිසක් පසුගිය කාලය පුරා රුසියාවට යවා ඇති බව හෙළිව ඇත. ඔවුන් අතරින් හය දෙනකු මේ වනවිට මියගොස් ඇති බවත් 25කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් අනාවරණය වී තිබේ. ජාවාරමේ යෙදුන අනෙක් කණ්ඩායම් ගැන ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. ඔවුන් අතර ද හමුදාවේ ඉහළම නිලතල දැරූ පුද්ගලයින් සිටින බව විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.
ඔවුන් මෑතකදී 150ක පමණ පිරිසක් රුසියාවට යවා ඇති අතර, එම පිරිස පුහුණු කඳවුරක රඳවා ගෙන සිටින බවද එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කර ඇත. විශ්‍රාමික හමුදා මේජර් ජනරාල් රණරාජා රණවක ඇතුළු සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුල් විමර්ශන තොරතුරු අනුව ලංකාසර ද වාර්තා කරනු ලැබුවේ මේ ජාවාරමේ මහ මොළකරු මේජර් ජනරාල් ප්‍රසන්න රණවක බවය. එම කීර්තිමත් හමුදා නිලධාරියා මේ ජාවාරමට සම්බන්ධ නැති බව දැන් හෙළි වී තිබේ. ඔහු සම්බන්ධව පල වූ වාර්තාවෙන් ඔහු පත් වූ අපහසුතාවය පිළිබඳ ලංකාසර කණගාටුව පල කරයි.