දිනසේන රතුගමගේ-
නීති විරෝධී ලෙස රුවන්ඩාවට ඇතුලු වූ යාපනයේ පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලකට රැගෙන ගිය අවස්ථාවේදි ඔවුන් රෝහල තුළදී විවිධ දේ ගිලදමා සියදිවි හානිකර ගැනිමට උත්සහ කළ බව රුවන්ඩා ජාතික රූපවාහිනිය ඊයේ (29) දා වාර්තා කොට තිබේ.
අත් අඩංගුවට පත් වූ පිරිස අතර වයස අවුරුදු 22 ක තරුණියක්ද සිටින අතර අනෙක් අය යාපනයේම තරුණයින් හතර දෙනෙකි.
මේ පිරිස වෙනත් යුරෝපා රටකට ගොස් ඒ හරහා රුවන්ඩාවේ කිගාලී ප්‍රදේශයට ඇතුලු වී ඇති අතර එහිදී ඔවුන්ව අත් අඩංගුවට පත්ව තිබේ.
අත් අඩංගුවට ගත් පස් දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔවුන්ව කිගාලී රෝහල වෙත රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරමින් සිටි අවස්ථාවේදී තරුණිය වෛද්‍ය මේසයක් මත තිබූ ඉදිකටු කීපයක් ගිල දමා තිබේ.
අනෙක් හතර දෙනාද කතුරු ඇතුලු වෛද්‍ය උපකරණ ගිල දැමීම නිසා ඔවුන් ස්වල්ප වේලාවකදී වමනය කරන්නට පටන් ගෙන තිබේ.
ඔවුන්ව රෝහල් ගත කිරීමට තීරණය කොට ඇති කිගාලී රෝහලේ බලධාරීන් මේ පිළිබදව කිගාලී පොලිසියටද දැණුම් දී තිබේ.
යාපනයෙන් නීති විරෝධී ලෙස රුවන්ඩාවට ඇතුළු වූ මේ පස් දෙනා දැනට කිගාලී පොලිස් ආරක්ෂාව මැද කිගාලී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රුවන්ඩාවේ ජාතික රූපවාහිනිය වැඩිදුරටත් කරුනු වාර්තා කළේය.
මොවුන් පස් දෙනා රෝහල තුළදී සිය දිවි හානි කරගැනීමට උත්සාහ කොට ඇත්තේ රුවන්ඩා නීතියට අනුව වෙනත් රටවලින් පැමිණෙන නිති විරෝධී සංක්‍රමණිල්කයින් බන්ධනාගාර ගත කරණ බව ඔවුන්ට දැන ගැනිමට ලැබීමෙන් පසුව ඊට බියවීම නිසා යැයි පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
රුවන්ඩාවේ කිගාලී පොලීසිය මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් පස් දෙනා පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.