කීර්ති ප්‍රනාන්දු –
විශ්‍රාම යෑමට මාස තුනක් තිබියදී යතුරුපැදිකරුවෙකුගෙන් රුපියල් 2500 ක අල්ලසක් ගත් දකුණු කළුතර පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම උප පොලිස් පරික්ෂකවරයා කළුතර නගරයේ දී යතුරුපැදිකරුවෙකු පරික්ෂා කර ඇති අතර ඒ අවස්ථාවේදී යතුරුපැදිකරුගේ යතුරුපැදියේ ආදායම් බලපත්‍රය කල් ඉකුත් වී ඇති බව තහවුරු වී ඇත.
පසුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදිකරු ගෙන් නිදහස් කර යැවීමට නම් රුපියල් 5000 ක මුදලක් ඉල්ලා ඇත. අද (15) දහවල් පොලිසිය තුළ දී යතුරුපැදිකරු ගෙන් රුපියල් 2500 ක මුදලක් ලබා ගනිමින් සිටි මෙම උප පොලිස් පරීක්ෂකවරයාව පොලිසිය තුළදී ම අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
සැකකාර උප පොලිස් පරික්ෂකවරයා ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.