රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ හෙට දිනයේ පැවැත්වෙන සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (10) ප්‍රතික්ෂේප කළේය.
වර්ෂ 2016 දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන්කිරීම හා සාක්ෂි ගෙතු බවට චෝදනා කරමින් මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. එම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉහත ප්‍රතිශොධන පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේය.
මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන් රත්නම් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී චම්පික රණවකට එරෙහිව හෙට (11) දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරන ලද ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
පෙත්සම්කාර චම්පික රණවක කියා සිටින්නේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ බව කියන රිය අනතුරකට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.
එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව ඔහු සඳහන් කරයි.
අනතුරුව නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව ද ඔහු අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බවත් මහාධිකරණ නඩු විභාගය අත්හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පාඨලී චම්පික රණවක අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එමෙන්ම තමන්ව අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.