දිනසේන රතුගමගේ –
පිහිනීමෙන් ලෝක වාර්තාවක් තැබීම සදහා ඉන්දීය මුහුදු සීමාවට ගිය තරුණයින් 12 දෙනෙකු ධනුස්කොඩි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමකින් පසුව 23 දා නිදහස් කොට තිබේ.
මන්නාරමේ තරුණයින් තුන් දෙනෙකු ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරමට අඩු කාලයකින් පිහිනා ලෝක වාර්තාවක් තැබීමට සූදානම් වන අතර ඔවුන් මේ දිනවල ඒ සදහා පුහුණු වීම්වල නිරතව සිටිති.
මෙම කාර්ය සදහා ඉන්දීය රජයෙන් හා ශ්‍රී ලංකා රජයෙන් ඔවුන් නිසි අවසරයක් ලබා ගෙන ඇති අතර පුහුණුවීම් සඳහා ආධාරකරුවන් රැගෙන යාමටද එම අවසරයෙන් ඉඩකඩ ලැබී ඇත.
ලෝක වාර්තාව තැබීමට සූදානම් වන තරුණයින් තුන් දෙනා තවත් තරුණයින් නව දෙනෙකු සමග බෝට්ටු තුනකින් ඉන්දීය ධනුස්කොඩි සීමාවට ගොස් පුහුණුවීම් සිදු කරමින් සිටින අතරවාරයේ ඔවුන්ව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අදාල අවසරපත් ඉදිරිපත් කළද වෙරළාරක්ෂක නිලධාරීන් එම ලිපි එක්වරම බාර ගැනීමට සූදානම් නොවී ඔවුන් ශ්‍රී ලංකාවේ සරණාගතයින් වශයෙන් හෝ නීති විරෝධී ජාවාරම්කරුවන් වශයෙන් ඉන්දියාවට ඇතුලු වීමට උත්සහ දරණ පිරිසක් බවට සැක පහළකොට තිබේ.
පසුව මෙම තරුණයින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට තොරතුරු ඉදිරිපත්කොට සිදු වූ දේ විස්තර කිරීමෙන් පසුව එම තරුණයින් 12 දෙනා හා ඔවුන්ගේ යාත්‍රා තුන නිදහස් කොට ඇත.