විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් (60) ගේ ඝාතනයට හේතුව මෙතෙක් හෙළි වී නැතැයි පොලිස් විමර්ශන අංශ පවසයි.
ගාල්ල කැෂුවල් ක්ලබ් රෙදි පිලි වෙළෙඳසලේ හිමිකරු වූ මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුනේ ඩික්සන් හන්දියේ පිහිටි ස්වකීය ව්‍යාපාරික ස්ථානයට මීටර 300ක් පමණ නුදුරින් බිංගේ කන්ද මතදීය.

ඔහු සෑම දිනයකම පාහේ ව්‍යාපාරික ස්ථානයේ සිට මහින්ද විද්‍යාලය අසල එළියට් පාරේ ස්වකීය නිවසට පිටත් වන්නේ මේ වෙලාවටය.
රාත්‍රී 7.55ට පමණ සිද්ධවන මෙම වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙක් පැමිණෙන ආකාරයත් පිටුපසින් එන වෙඩික්කරු මුලින්ම රථයේ පසුපසට වෙඩි තබන ආකාරයත් සීසීටීවී දර්ශනවල සටහන්ව ඇතැයි විමර්ශන අංශ කියයි.
ඒ සමග ව්‍යාපාරිකයා රථය පසෙකට කර නවත්වන විට යතුරුපැදියෙන් බැස එන වෙඩික්කරු රථයේ රියදුරු අසුන මත ව්‍යාපාරිකයා මිය යන තුරුම වෙඩි තබා ඇතැයි විමර්ශන අංශ පවසයි.
අනතුරුව ඝාතකයන් පලා ගොස් තිබේ. වින්දිතයා රෝහලට රැගෙන එන විට මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
ලලිත් වසන්ත මෙන්ඩිස් ඝාතනය කළ බව සැලවූ වහාම විශාල පිරිසක් කරාපිටිය රෝහලට පැමිණ ඇත. ඒ අතර ප්‍රභූන් දේශපාලකයින්. ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද සිටිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත ගමගේට ජීවිත තර්ජන තිබූ බවක් සඳහන්ව නොමැති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මේ අපාරධය සම්බන්ධව විදේශයක සිටින පාතාල කණ්ඩායමක සම්බන්ධයක් ඇතිදැයි ගැඹුරින් සොයා බලන බව විමර්ශන අංශ පවසයි.







