කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇතැයි සැක කරන කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර ගේ ඝාතනය සම්බන්ධ විමර්ශනය කරන විමර්ශන කණ්ඩායම් බහු ජාතික සමාගමක විෂ සහිත ආහාර නිශ්පාදනයක් සම්බන්ධව ඔහු සිදුකළ පරීක්ෂණයක් ඇතුළු විශේෂ නඩු කටයුතු රැසක් සම්බන්ධව විශේෂ අවධානය යොමු කරමින් සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
දැනට මූලික විමර්ශනවලින් හෙළි වි ඇත්තේ මෙම ඝාතනය රාජකාරි මට්ටමින් ඇති වූ තර්ජනයක ප්‍රතිඵළයක් බව යැයි විමර්ශන අංශ හෙළි කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරන රොෂාන් කුමාර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන නිලධාරියෙක් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඒ හේතුව නිසා ඔහු සමඟ උරණ වී සිටින පුද්ගලයන් ප්‍රමාණය විශාල බව ද අනාවරණය වී තිබේ. රොෂාන් කුමාර වෘත්තිය වෙනුවෙන් දැඩිව කැපවී කටයුතු කරන නිලධාරියෙක් බැවින් ඔහු යටතේ සිටින නිලධාරියකුට පවා යම් වැරදි ක්‍රියාවක් කිරීමට ඉඩ නොලැබෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
මෑතක දී ඔහු බහුජාතික සමාගමක ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් විමර්ශනයක නිරතව සිට ඇති බවට තොරතුරු ද ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන්ද විමර්ශනවල දී විශේෂ අවධානයක් යොමු කරන බව එම නිලධාරියා කීය. මෑත කාලයේ රොෂාන් කුමාර ගේ මෙහෙයවීමෙන් සිදුකළ වැටලීම් සහ නඩු සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් විමර්ශනවලින් යොමු කර ඇත.
මේ වන විට සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර දුරකථන ජාල විශ්ලේෂණයක්ද සිදුකරමින් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.
ඊයේ උදෑසන මුහුණු ආවරණය කරගත් ඝාතකයින් දෙදෙනෙක් ඊයේ (26) පෙරවරුවේ යතුරුපැදියකින් රොෂාන් කුමාරගේ නිවසට පැමිණ වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහු පාසලට භාරදීමට නියමිතව සිටි සිය සිඟිති පුතාගේ නම සහිත ටැග් එක පරිගණකයෙන් නිර්මාණය කරමින් සිටියදී ය.
නිවස තුළටම පැමිණි ඝාතකයින් රිවෝල්වරයකින් ඔහුට වෙඩි තබා එතැනම ඝාතනය කර ඇත. ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම සිද්ධිය වූ ඔහුගේ නිවසට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර මළ සිරුර මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඇල්පිටිය, කරන්දෙණිය, අම්බලංගොඩ ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි. – දිනමිණ