මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට එරෙහි නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නීතිපතිවරයාට නියෝග කළේය.
මහාධිකරණය එම නියෝගය ලබා දුන්නේ අදාළ නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේදී රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බව ප්‍රකාශ කරමින් එම තීන්දුවේ පිටපතක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
එය පරීක්ෂාවට ලක් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරු ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය විසින් රවී කරුණානායකට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කර ඇති නිසා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා තීන්දුවක් ගත යුතු බවය.
සභාපති විනිසුරු දමිත් තොටවත්ත ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය තීන්දුව පිරික්සීමේදී රවී කරුණානායකට එරෙහි චෝදනා පවත්වාගෙන යා නොහැකි ආකාරයක් පෙනී යන බවය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කීවේ රවී කරුණානායක සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවය.
මෙම කරුණට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නඩුව අප්‍රේල් මස 27 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.
එදින නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් අධිකරණය දැනුම් දුන්නේය.