රඹුක්කන ඝාතන සිද්ධිය සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව සිය කණස්සල්ල ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි ම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පැවසුවේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්වෙන බවයි.
විරෝධතාවයකදී සම්බන්ධ කුමන හෝ පාර්ශවයක් ප්රචණ්ඩත්වය කරා යොමු වීම සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධාවක්. සිවිල් වැසියන් සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවම බලය භාවිතා කිරීම ඉතා වැදගත් ඇය වැඩි දුරටත් පැවසුවාය.
https://twitter.com/SingerHanaa/status/1516440281503399937
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පැවසුවේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට පොලීසිය වෙඩි තැබීමෙන් පසු අවම වශයෙන් එක් මරණයක් සහ 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වන කැළඹිලිදායක වාර්තා පිළිබඳව කනස්සල්ලට පත්වන බවයි. එසේම බලධාරීන් සෑම විටම සංයමයකින් ක්‍රියා කළ යුතු අතර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයක් භාවිතා නොකළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පැවසීය .
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා ද දැඩි ලෙස කණගාටු වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බවත් සෑම ආකාරයකම ප්රචණ්ඩත්වය හෙළා දකින අතර සංයමයෙන් කටයුතු කරන ලෙසත් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බවත් මහ කොමසාරිස් සාරා හල්ටන් පැවසුවාය.
I am deeply saddened to hear of the loss of life in protests in Rambukkana. An independent and transparent investigation is essential. I condemn violence in all forms and call for restraint. The right to peaceful protest must be protected.
— Sarah Hulton OBE (@SarahHultonFCDO) April 19, 2022
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් ඊයේ රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කණසල්ලට පත්වෙන බව නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කළාය.

රඹුක්කන සිදුවීම පිළිබඳ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඉන්ධන ලීටර් 30000 අඩංගු බවුසරයකට ගිනි තැබීමට උත්සහ කිරීම වැලැක්වීමට සහ සිදු විය හැකි අලාභ හානි වැලැක්වීමට අවම බලය යෙදවීමට සිදු වූ බවයි.







