කීර්ති ප්රනාන්දු –
අප ඉන්නේ වළ පත්ලේය. ඉන් ගොඩ එන්නට ආධාරකොට ගැනීම සඳහා මකුළු හුයෙක දෙයක් තිබුනේ නැත. යන්තමින් බලාපොරොත්තුවක් ගෙනාවේ රුසියාවෙන් එන සංචාරකයින් අතලොස්ස ගෙනෙන ඩොලර් ටික ගැනය.
ඒ අදහසත් බිඳී ගියේ පසුගිය දෙවැනි දා ය. එදින උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ.- 288 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලින් ආපසු රුසියාව බලා පිටත්වීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණයෙන් නියෝගයක් නිකුත් කලේය. දෙසීය අසූවකට වැඩි ගුවන් මගී පිරිස යානයෙන් බස්සවා අවට හෝටල්වලට ගෙන ගියේය.
ගුවන් යානයට පියාසර තහනම නිකුත් කරන්නේ අයර්ලන්ත ලීසිං සමාගමක් මගින් කොළඹ වාණිජ අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මතය. කාට කාටත් දෙලෝ රත් වුනේ ඉන් අනතුරුව සිදුවීම් පෙළ ගැසෙන විටය. එම තහනම නිකුත් වන්නේ ශ්රී ලංකා රජය පාර්ශවයෙන් රුසියාවට ගුවන්යානා සම්බන්ධ කිසිම අවහිරයක් රට තුළ සිදු නොවන බවට ලබා දී තිබුණු ලිඛිත සහතිකයක් ලබා දී තිබුනු පසුබිමකය.
රුසියාව රුසියාවේ ශ්රී ලංකා තානාපතිනිය ගෙන්වා සිය බරපතල අප්රසාදය ලංකාවට පල කළේය. රුසියානු එරෝ ෆ්ලෝට් ගුවන් සේවය ශ්රී ලංකාව සමග සියලු වාණිජ ගමන් අත්හිටවනු ලැබුවේය. හිස් ගුවන් යානා පැමිණ ලංකාවේ සිටින රුසියානු සංචාරකයින් රැගෙන ගියේය. සමහර සංචාරකයින්ට සිය සංචාර අවලංගුකර පැමිණෙන ලෙස දන්වා තිබිණි.
රාජ්ය තාන්ත්රික අර්බුදයක් තෙක් යමින් තිබූ මෙම ගුවන් යානයට දැමූ වාරණ නියෝගය අද කොළඹ වාණිජ මහාධිකරණය විසින්ම අත්හිටවනු ලැබුවේය.
ඇය නික්ම ගිය අයුරු….
අද සවස 6.11ට දින හතරක් තිස්සේ රඳවාගෙන තිබූ එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 ගුවන් යානය රුසියවේ මොස්කව් බලා පිටත් වී ගියේය.
යානය රැගෙන යෑම සදහා ගුවන් නියමුවන් දෙදෙනෙක් සහ ගුවන් සමාගමේ සේවකයින් තිදෙනෙක් පැමිණ සිටියහ. ඔවුහු හිස් ගුවන් යානය රැගෙන ගුවන්ගත වූහ.

ප්රශ්නය ඒ යම්තාක් දුරට සමනය වී ඇතත් විසඳී ඇති බව පෙනෙන්නෙ නැත. සියල්ල අනාගතයට භාරය.







