මැතිවරණ නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන බවත් නියමිත වකවානුවට ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ලබන වසර මුලදී මහා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් වරක් අද (24) සහතික කර තිබිණි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සිදුවූයේ හමුව අතර තුරය.
දේශපාලනික වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වැඩි නැඹුරුවක් සහිතව ක්‍රියා කළ පාඨලී චම්පික රණවක සිය එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ දේශය වෙනුවෙන් එක් වන පියවරක්” යෝජනාවලිය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා ආරම්භ කළ සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීමේ මුලික අභිලාෂී පියවර බව දේශපාලන විචාරකයින්ගේ අදහසය.
මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වී ඇත්තේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවත්, ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බවත්ය.
සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව කී ජනාධිපතිවරයා දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත විවෘතව ආරාධනා කළ බව ද ප්‍රකාශ කළේය.
විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇත.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් කරූ පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක එක්ව සිටියහ.