මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ ලේකම් වරයෙක් යැයි කියාගන්නා සුදත් ජයසිංහ නැමැත්තෙක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග බලහත්කාරයෙන් තම ඉඩමට අතුළු වී එය මැනීමට තැත් කළ බවත්, ඊට එරෙහිව දිවුලපිටිය පොලිසිය සහ සරත් වීරසේකර අමාත්‍යවරයා දැනුම්වත් කර උක්ත බලහත්කාරකම ව්‍යර්ථ කළ පසු මෙම පුද්ගලයා අවස්ථා තුනක දී විටින් විට පැමිණ ඉඩම බලාගන්නා අයට තර්ජනය කර මත් කුඩු දමා ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර ඇති බවත් කියමින් දිවුලපිටිය බලගල්ලවත්තේ කාන්තාවක් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
මෙම ප්‍රශ්නය මතුවන්නේ දිවුලපිටිය වල්උල්පොල සියඹලාවත්ත යන ස්ථානයේ පදිංචි තම ඉඩමට පුද්ගලයින් දෙදෙනෙක් විසින් හොර ඔප්පු සකස් කරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිලි කර ඇති අවස්ථාවක යැයි පැමිණිලිකාරිය කියයි.
පසුගිය මස 11 දා මෙම කණ්ඩායම පැමිණි අවස්ථාවේ දී නිවසක තිබූ සී.සී.ටී.වී කැමරාවලට අලාභානි සිදුකර තිබුණු බවත්, පසුගිය 27 දා KG 8766 වෑන් රථයෙන් හා VO 6176 දරන යතුරුපැදියෙන් පැමිණි සිවිල් හා නිල ඇඳුමින් සැරසුණු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අයිතිකරුවන් නොමැති අවස්ථාවේ ඉඩමේ නිවස පරීක්ෂා කර ගිය බවත්, ඒ සමබන්ධ සී.සී.ටී.වී සාක්ෂි ද සමග පැමිණිලිකාරිය විසින් ඉදිරිපත් කර තිබේ.
මේ ආකාරයෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා නිතර නිතර පැමිණ තර්ජනය කිරීමේ යටි අරමුණ තමන්ගේ ඉඩම අත්පත් කරගැනීම බව තම අදහස බවත් හිමි කාරිය ලේකම්වරයා වෙත දන්වා සිටී.