ඉන්දු ඕස්ට්‍රේලියා භූ තලයේ ගැටීම් දිගින් දිගටම ඇති වන බැවින් ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආසන්න භූ තලයේ තරමක් ප්‍රබල භූ කම්පන ඇති වීමේ අවදානමක් පවතින බවට තොරතුරු ප්‍රචාරය වෙමින් තිබේ. ආර්ථික කම්පනයෙන් කුඩු වී ගිය රටකට මෙතෙක් අඩු වී තිබුණේ භූකම්පන පමණි. අප ඒ ව්‍යසනය අභියසද?. ලංකාසර අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න විමසුවෙමු. අප නැගූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

භූමිකම්පාවක බිහිසුණුම ඛේදවාචකයකින් ලෝකයම තැතිගැන්මට පත්වෙලා ඉන්න අවස්ථාවක්. ඒ භීතිය මැද අපේ පොළවත් විටින් විට හෙල්ලෙන්න පටන් අරන්. අපට දැනෙන මේ කම්පන මොනව ද?.
අපට කිලෝමිටර දහසක් පමණ ඈතින් භූ ගර්භ විද්‍යාත්මකව අප හඳුනාගන්නා ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය තුළ යම් යම් විභේදන ඇති වෙමින් තිබෙනවා. එසේ ඇතිවන විභේදනයන් නිසා යම් යම් සුළු කම්පන තත්ත්වයන් මෙරටට දැනිය හැකි යි.
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ඉන්දු ඔස්ට්‍රේලියානු භූ තලය කලක පටන් වෙන් වෙමින් පවතිනවා.
භූ තලයක් නිර්මාණය වන්නට වසර දශ ලක්ෂ මිලියන ගණන් කාල ගත වෙනවා. උදාහරණයක් විදිහට ලීයක් මත ඇති වෙන ප්‍රබල තෙරපුමකින් ලීයක් එක රේඛාවක් ඔස්සේ කැඩී බිඳී යන්නේ නැහැ ඒ කිසිදු රටාවක් නොමැතිව තෙරපුමට අනුගතව විවිධ තැන්වලින් පැල්ම ඇතිවෙනවා. බෝතලයත් එපරිදිමයි. වෙනසකට තිබෙන්නේ කාලයක් තිස්සේ ඇතිවන තෙරපුම් මත තමයි භූ තල වෙන් වෙන් වශයෙන් බිඳී ඈත් වන්නේ.
නව භූතලයක් නිර්මාණය වන බව ඔබ ප්‍රකාශ කොට තිබෙනවා.
ඔව්… ඉන්දියානු ඔස්ට්‍රේලියානු භූතලයේ ශ්‍රී ලංකාව ආසන්න කොටස නව තල මායිමක් සකස් වෙමින් තිබෙනවා. දශකයකට පමණ පෙර ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය ලෙස හැඳින්වූවත් මේ වනවිට එය ඉන්දු භූතලය හා ඔස්ට්‍රේලියානු භූ තලය ලෙස භූ විද්‍යාඥයින් වෙන්කර හඳුන්වනවා. ඊට හේතුව මෙම තලවල දැන් පැහැදිලිව වෙන් වූ ස්වරූපයක් දක්නට ලැබීම යි. මේවා වසර දස දහස් ගණනක් තිස්සේ සකස් වෙමින් එන ඒවා. දැන් වෙන් වශයෙන් ඉන්දියානු භූ තල මායිම ලෙස වෙන් වෙමින් පවතින්නේ එවැනි කොටසක් තමයි.
එවන් වෙන් වීමක් හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූමිකම්පා තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තිබෙනවාද…?
දැනට එවැනි තත්වයක් ප්‍රකාශ කරන්නට තරම් සාධක නැහැ. අපේ භූ කම්පන සිදුවීම දැක්වෙන සිතියම් අධීක්ෂණය කළ හොත් භූමිකම්පා සිදු වීමේ ප්‍රවණතාවය ඇති ප්‍රදේශ පමණක් සඳහන් කරන පුළුවන්. ඒ හැරුණු කොට භූමි කම්පාවල විශාලත්වය හෝ ඒවායේ හානිකර තත්ත්වයන් පිළිබඳ ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ .කෙසේ වෙතත් අභ්‍යන්තරයේ සිදුවන තත්ත්වයන් පිළිබඳ කලින් දැනුවත් කරන්න හැකියාවක් නැහැ.
භූමිකම්පා සිදු වන ප්‍රදේශ පිළිබඳ දැනුවත් කිරීමක් කළොත්…
වසර විස්සක් තිහක් කාලයක් පුරා ශ්‍රී ලංකාවේ භූකම්පන සිදුවීම් පිළිබඳ සිතියම් ගත කර තිබෙනවා. එම සිතියම් අධීක්ෂණය කිරීමෙන් භූ කම්පන ඇති වන ස්ථාන පිළිබඳ දල සටහනක් දකිය හැකි යි. ලංකාව තුළ කලාප වශයෙන් ගත් විට බුත්තල මොණරාගල වැල්ලවාය රජගල අම්පාර මිනිපේ වැනි ප්‍රදේශ වල භූමි කම්පා එසේත් නැත්නම් සුළු භූ කම්පන ඇති වී ඇති බවට සාක්ෂි තිබෙනවා. මෙම තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ වසර නවයෙන් නවයට. මෑතකාලීනව සෑම වසරකම පාහේ සුළු කම්පනයක් ඇතිව තිබෙනවා. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු වැනි කාලවල සුළු කම්පන ඇති වීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබෙන බව සිතියම් ගත වී තිබෙනවා..
තවදුරටත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළහොත් ලංකාවෙත් මේ තාක් පැලුම් ඇතිවී ස්ථාන පිළිබඳ විශ්ලේෂණයක් සිදු කොට තිබෙනවා. ඒ අනුව ලංකාවේ පැලීම් ඇති වූ ස්ථාන කොටස් තුනකට වර්ග කර තිබෙනවා. භූ ගර්භය විද්‍යාත්මකව කොටස් තුනකට බෙදා දැක්වීමක් පෙන්වාදිය හැකි යි.
පළමු කොටස මධ්‍යම කඳුකර ශ්‍රේනියයි. දෙවැනි කොටස විජයානු සංකීර්ණය හෙවත් නැගෙනහිර ත්‍රිකුණාමලයේ සිට උස්සංගොඩ දක්වා වූ කොටසයි.
තුන්වැනි කොටස මධ්‍යම කඳුකරයෙන් බටහිර ශ්‍රේණියයි. එය පාෂාණ වර්ගීකරණයකට ලක් වූ කොටසක් ලෙසත් නම් කරනවා.
භූ විද්‍යාත්මකව ලංකාවේ ක්‍රියාකාරී තල මායිම ලෙස දැක්වෙන්නේ පළමු හා දෙවෙනි කොටස් අතර පිහිටා ඇති ප්‍රදේශයි. භූවිද්‍යාත්මක ලංකාවේ සියලුම උණුවතුර ළිං පිහිටා තිබෙන්නේ මේ මායිම් ඔස්සේ බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ වගේම ඩොලමයිට් ඩයික් ලෙස හඳුන්වන පාෂාණ වර්ග ද පිහිටා තිබෙන්නේ මේ මායිමෙ. විශාල වශයෙන් ඛනිජ නිධි සියල්ලම පාහේ පිහිටා තිබෙන්නෙත් මෙම මායිමේ.
සේරුවාවිල තඹ රත්තරන් නිධිය පුළුල් පරාසයක් පුරා පැතිර ගිය හුනුගල් නිධිය. බලංගොඩ රත්‍රං බහුල පාෂාණ නිධි, බුත්තල යකඩ නිධිය, සිලිකා නිධිය…
මේ වන විට නවීන තාක්ෂණ ක්‍රම ඕනෑ තරම් ලොව පුරා ප්‍රචලිත වෙලා තිබෙනවා. භූ කම්පන සිදුවිය යැයි කලින් හදුනා ගැනීමට නොහැකි වන්නේ කුමන දුර්වලතාවයක් නිසා ද..?
එතැන ඇත්තේ දුර්වලතාවයක් නෙවෙයි. පොළොව අභ්‍යන්තරයේ සිදු වන්නේ කුමක්ද සිදුව තිබෙන්නේ මොනවාද කියා නිශ්චිත වශයෙන් කිසිවෙකුටත් කියන්න බැහැ . ගර්භ විද්‍යාව අනුව පොළොව මතුපිට සිදුවීම් පිළිබඳව සනාථ කරන්නේ හෝ අනුමාන කරන්නේ පොළොව මතුපිට යමක් සිදු වූ පසුව පමණයි. මතුපිට සංසිද්ධීන් අනුව පොළව අභ්‍යන්තරයේ සිදුවන දේ ගැන අනුමාන කරන්නට ගූගල් තාක්ෂණය සමත්.
පොළවේ මධ්‍ය ලක්ෂය එහෙමත් නැත්නම් පොලොවෙ මධ්‍ය කොටස මැද ලක්ෂය ලෙස හඳුන්වන්නේ යකඩ බෝලයක් එහෙමත් නැත්නම් ලෝහ ගෝලයක්.
මධ්‍ය ලක්ෂය වටා ඇත්තේ ඝන ද්‍රව්‍ය ලෝහමය ද්‍රවයක් විය හැකියි. එයිනුත් මෙපිට හෙවත් තුන්වැනි කොටස ප්‍රාවරණය ලෙස හඳුන්වනවා. එය ඝන හා ද්‍රව අතර චලනය වෙමින් පවතින තත්ත්වයක්. එයින් මෙපිට කොටස කබොලක්. සිළිකා බහුල පාෂාණ මතුපිටක් ලෙසත් එය හඳුන්වනවා. මෙම කොටස්වල චලනයන් තැලීම් වැනි තත්ත්වයන් මත පොළව අභ්‍යන්තරයේ විවිධ සංසිද්ධීන් වීමේ ප්‍රවණතාවක් පවතිනවා.
මේ දිනවල ලංකාවේ ඇති වෙන භූ කම්පන සිරියාවි දේශසීමාවේ සිදුවූ කම්පනය හා සම්බන්ධතාවයක් තිබෙනවා නේද…?
පොළොව ගැඹුරට යන්න යන්න ඇතිවන තත්ත්වයන්වල බලපෑම මතුපිට පෘෂ්ඨයෙහි විශාල පිරිසකට දැනෙන්න ගන්නවා
පොළොව අභ්‍යන්තරයේ සිදුවන දේ පිළිබඳව සෘජුව කියන්න බැරි උනත් අභ්‍යන්තරයේ සිදුවන දෑ වල බලපෑම පුළුල් පරාසයක් පුරා පැතිරි යන බවට ප්‍රකාශ කරන්න පුළුවන්. තුර්කියේ පොළොව භ්‍යන්තරයේ කිලෝමීටර් ගණනක් යට සිදුවූ චලනයක් හෝ විභේදනයක් අනිකුත් තලවලට යුරේෂියානු අප්‍රිකානු ඉන්දියානු තල මායිමට බලපෑම් එල්ල කරන්නට පුළුවන්. මම හිතනවා ඒ බලපෑම නිසයි අපේ කලාපයේ තල මායිමට කම්පනයක් ඇති වෙන්න ඇත්තේ කියා..
ලෝකෙ පුරා තල මායිම් විස්සක් විසි දෙකක් පමණ පැතිර තිබෙනවා. මේවායේ කම්පනය එකිනෙක සම්බන්ධතා දක්වන්න පුළුවන් මුත් ශ්‍රී ලංකාවට විශාල හානියක් වෙන තරමට භූ කම්පන තත්ත්වයන් ඇතිවෙයි කියා කියන්නට සාධක නැහැ.
එයින් අදහස් කරන්නේ ලංකාවට ඇතිවන භූ කම්පන තත්වයන් රිච්ටර් මාපකයේ අගය හතර ඉක්මවා යන්නේ නැහැ කියාද…?
ඔව් අලුත් තල මායිම්වල ඒ භූ කම්පන තත්වයන්ගේ විශාලත්වය වුවත් පහට වඩා අඩු වෙන්න පුළුවන්. මොකද මුහුදු කලාපයේ වුවත් මුහුදු පතුලේ ඇතිවන කම්පන තත්ත්වයක් ශ්‍රී ලංකාවට බලපාන්නේ ස්වල්ප වශයෙන්. රට තුළ භූමි කම්පන තත්වයන් අති වීම ඉතාම අල්පයි
ජාවා හෝ සුමාත්‍රා දුපත්වල නොගැඹුරු මුහුදේ භූමිකම්පාවක් ඇති වුවහොත් පමණක් සුනාමි ව්‍යසනයක් ලෙස ජලගැලීම් ඇතිවීමේ ප්‍රවණතාවය පවතින්න පුළුවන්. ඒ හැරුණාම ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව තල මායිම් වල බරපතළ භූමි කම්පන තත්වයන් ඇතිවීමේ ඉඩක් තිබේ යැයි සාධක නැහැ.
රට තුළ ජලාශ විශාල ගොඩනැගිලි ආදියට සුළු කම්පන තත්වයන් ගෙන් බලපෑමක් ඇතිවෙනව ද?
ලංකාවේ මේ වන විට ඉදිකර ඇති ජලාශ සියල්ලක්ම පාහේ රික්ටර් මාපකයේ භූකම්පන අගය 3.5 ක තත්ත්වයට ඇති වුවත් ඊට ඔරොත්තු දෙන පරිදියි සකසා ඇත්තේ. දැනට ඇති වන සුළු කම්පන තත්ත්වයන් පවතින ප්‍රදේශවල වුවත් ජනාකීර්ණ ජනාවාස හෝ අති දැවැන්ත ගොඩනැගිලි පෙනෙන්නට නැහැ. අනාගතය ගැන හොඳින් සැලසුම් කරන කාට වුවත් විශාල ගොඩනැගිලි කිරීමේදී 3.5 කට ඔරොත්තුදෙන තත්වෙ පාදමක් සහිත ගොඩනැගිලි ගොඩනඟන්න නිර්දේශ කරන්න පුළුවන්.
අනාගතය ඉදිකිරීම් ක්ෂේත්‍රවල කටයුතු කරන අය ඒ අකාරයෙන් සැලසුම් කිරීම අනාගතය වෙනුවෙන් වැදගත් වේවි.







