කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බවත් ඊට එරෙහිව තමන් නීතිමය ක්‍රියාදාමයකට එළඹීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ අද (15) අභයාරාමයේ පැවති පුවත් සාකච්ඡාවක් දී පැවසීය.
එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කී මන්ත්‍රීවරයා එය ඉතා භයානක තත්වයක් බවත් සඳහන් කළේය.
” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකළ අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.“
“ දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.“
මේ අවස්ථාවේ දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද අදහස් දැක්වූහ.







