වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහා ගෙදර යනු යන තේමාව යටතේ රටේ බහුතරය පෙළ ගැසී තිබිය දී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුරය ආරක්ෂා කරමින් යන දේශපාලන වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදස් පක්ෂය ඇතුළු පක්ෂ 11 පියවර ගෙන ඇත.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුව ස්ථාවර කර ඔවුන්ගේම අගමැතිවරයෙක් පත්කරගෙන ඇමති තනතුර බෙදා ගැනීම බව පක්ෂ 11ට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් ලංකාසරට පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේ දී තම ස්ථාවරය දැනුම් දී සර්ව පාක්ෂික ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට පක්ෂ 11 සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.
රටේ තරුණ පරපුර ගෝල්ෆේස් පිටියට රැස්ව ගෝඨාගෝගම පිහිටුවා ගනිමින් වත්මන් පාලනයට එරෙහි රටම පෙළගැසී සිටින අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11 ජනමතයට ප්‍රතිවරුද්ධව ක්‍රියා කරමින් රාජපක්ෂ පවුල රැක ගැනීමට ක්‍රියා කිරීම තමන් ඇතුළු පක්ෂ 11 නියෝජනය කරන තවත් බොහෝ දෙනෙක් අනුමත නොකරන බව ඔහු අවධාරණය කළේය.
සමගි ජන බලවේගය විසින් ගෙන ඒමට යෝජිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීම සඳහා පක්ෂ 11 නියෝජිතයන් මෙතෙක් ස්ථිර එකඟතාවයකට පැමිණ නොමැත. අගමැතිවරයා තමන්ට 113ක පාර්ලිමේන්තු බහුතරය ඇති බව ඊයේ තහවුරු කළේය.
එමෙන්ම මේ සර්වපාක්ෂික රජය සම්බන්ධව පක්ෂ 11 සාකච්ඡා කරන්නේ අගමැතිවරයා සිය ධුරය අත්නොහරින බව ප්‍රකාශ කර ඇති පසුබිමකය.
මෙවන් පසුබිමක වත්මන් ජනාධිපතිවරයාගේ බලය සහ ඔහුගේ ධුරය ආරක්ෂා කරගනිමින් පොහොට්ටුවේම අගමැතිවරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වර්ජනය කරමින් ජනාධිපතිවරයා සමග අද කරන සාකච්ඡාවට ද සහභාගී නොවීමට තීරණය කර ඇත.