මධ්‍යම පළාතේ ක්ෂේත්‍ර රාජකාරී සඳහා පශු වෛද්‍යවරු 96 දෙනෙකු සිටිය යුතු වුවත් මේ වනවිට සිටින්නේ 56 ක පමණ පිරිසක් පමණක් බවත් සේවයේ නිරත පිරිසට අනෙකුත් ප්‍රදේශ ආවරණය කිරීමට සිදුව තිබෙන බවත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික, මධ්‍යම පළාත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සමිත් ප්‍රසන්ත කුමාර පවසයි.
මධ්‍යම පළාතේ පශු වෛද්‍ය කාර්යාල 07 ක වෛද්‍යවරු රාජ්‍ය සේවයට සමුදී විදේශ ගතවීම නිසා පළාතේ කිරි නිෂ්පාදනය ඇතුළු සත්ත්ව නිෂ්පාදන ක්ෂෙත්‍රය බලබතල අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව ද හෙතෙම කීය.
දැනට සේවයේ නිරත පශු වෛද්‍යවරුන් අතරින් ද සැලකිය යුතු පිරිසක් විදේශ ගතවීම සඳහා සැළසුම් කර තිබෙන බවත් ඔවුන් ද රට හැර යාමට පෙර මෙම ගැටලුව කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
මහනුවර දී ඊයේ (31) මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙරට දියර කිරි නිෂ්පාදනය සඳහා සියයට 40ක පමණ දායකත්වයක් ලබා දෙන්නේ මධ්‍යම පළාතෙන් බවත් මේ වනවිට ලීටර් ලක්ෂ 2 1/2 ක් වන දෛනික කිරි නිෂ්පාදනය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවත් හෙතෙම පැවසුවේය.
නුවරළිය දිස්ත්‍රික්කයේ තිස්පනේ, බගවන්තලාව, නුවරඑළිය පශු වෛද්‍ය රෝහල, මස්කෙළිය හා මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, විල්ගමුව යන පශු වෛද්‍ය කොට්ඨාස පශු වෛද්‍යවරු නොමැතිව පුරප්පාඩු වී තිබෙන බවත් මේ නිසා මෙම ප්‍රදේශ වල කිරි ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.ෙපහසුකම් අවම මට්ටමක තිබිය දී සේවා කටයුතු තවත් වැඩිවීම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින පශු වෛද්‍යවරුන් සේවය හැරයාම මිස වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට පත්ව ඇතැයි ද ලේකම්වරය අවධාරණය කළේය.
රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි අදහස් දක්වමින් මූල්‍ය අර්බුදය ඇතුළු ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් රජය 2020 සිට රාජ්‍ය සේවයට පශු වෛද්‍යවරුන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙන බවත් දැනට සිටින වෛද්‍යවරුන් විශ්‍රාම යෑම, සේවය හැර යාම ඇතුළු කාරනා හේතුවෙන් මේ වනවිට රාජ්‍ය අංශයේ පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් නිර්මාණය වී ඇති බවත් ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට මධ්‍යම පළාත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමිත මීගහකොටුව ද සහභාගි විය.