දිනසේන රතුගමගේ –
යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ මුල්ලිවයික්කාල් සතිය යාපනය විශ්වවිද්‍යාලය හා තවත් සංවිධාන කීපයක් විසින් ඊයේ (11) සිට ආරම්භ කොට තිබේ.

යුද්ධයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීම පිණිස ලේ දන්දීමේ ව්‍යාපාරයක් යාපනය විශ්වවිද්‍යාලයේදී සංවිධානය කොට තිබුණි.
ඊට අමතරව මුල්ලිවයිකාල් කැඳ බෙදා දීමේ උත්සව උතුරේ සෑම ප්‍රදේශයකම ආරම්භ කොට ඇත.
යුද්ධයේ අවසන් කාල වකවානුවේදී සියලුම දෙමළ ජනතාව මුල්ලිවයික්කාල් ප්‍රදේශයට කොටි සංවිධානය විසින් එක් රැස් කොට ඔවුන්ට පලායාමට ඉඩ නොදුන් අවස්ථාවේදී එම ජනතාව කුසගින්න නිවා ගැනීම සඳහා දිනකට එක් වාරයක් පමණක් කැඳ සාදා ආහරයට ගත්හ.

එම සිද්ධිය සිහිපත් කිරීම සඳහා සෑම වසරකම මැයි මාසයේ 11 වෙනිදා සිට උතුරේ සෑම ප්‍රදේශයකම කැඳ බෙදා දීමක් සිදුවන අතර එම කැඳ හදුන්වනු ලබන්නේ මුල්ලිවයික්කාල් කැඳ වශයෙනි.
යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ අවසන් උළෙළ 19 වෙනිදා මුලතිව් මුහුදු වෙරළේ ඉදිකොට ඇති මුල්ලිවයික්කාල් ස්මාරකය අබියසදී ආරම්භ වන අතර එම ස්මාරකය අවට පිරිසිදු කොට සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානද මේ දිනවල ක්‍රියාත්මක වෙයි.







