දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා බටහිර දියුණු රටවලින් ලබාදෙන බවට පොරොන්දු වු මුදල් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත් යුක්‍රේන යුද්ධයට ඇමරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දෙස අවධානය යොමු කළහොත් එම මුදල් දේශගුණික විපර්යාවලට මුහුණදීමේ කටයුතු වෙනුවෙන් වසර දෙකකට ප්‍රමාණවත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
රුසියාව වියදම් කරන මුදල් තවම ගණනය කර නැති බවත් ගාසා තීරයේ යුද්ධයට යොදවන මුදල්, ඒ සඳහා යවන ආයුධ සඳහා දරණ පිරිවැය මෙම කටයුතු වෙනුවෙන් ලබාදුනහොත් ලෝකය වෙනස් කිරීමට හැකියාවක් ඇති බවත් ජනාධිපති වරයා කියයි. .
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
මෙවර ජගත් පරිසර දිනය පවත්වනු ලබන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකයි. ගෝලීය දේශගුණික විපර්යාස දෙස අවධානය යොමු කරන විට පැරිස් ගිවිසුමේ සඳහන් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අදාළ ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ අපට බලාපොරොත්තුවක් ඇති කරවන බව කිවයුතුයි.
දැනටමත් අප අපේක්ෂා කළ මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ඇතැම් දියුණු රටවල් දේශගුණික විපර්යාසවලට එරෙහිව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉන්දීයාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල් එම ඉලක්කය සපුරා ගැනීමට කාලය අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල් ද තිබෙනවා.
මේ සියල්ල සමඟ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සිරවී සිටිනවා. අපට දැන් ඒ පිළිබඳ නව ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා. ඒ නිසා පරිසර අමාත්‍යාංශය ආරම්භ කළ සමයේ සිදු කළ වැඩකටයුතුවලට පමණක් අපට දැන් සීමා විය නොහැකියි. මෙම ඉලක්ක කරා ළඟාවීමට නම් අපට නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. අප එම වැඩකටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. එහි පළමු කාර්යය වන්නේ නව නීති පද්ධතියක් ඇති කිරීමයි. එහි පළමු නීතිය අප දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම පිළිබඳව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ 3 වන වගන්තියේ ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (අ) II සඳහන් වෙනවා. ඒ අනුව ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට බවට අප පත්ව තිබෙනවා.
රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතරම අප මෙම ඉලක්කය ද ළඟා කර ගත යුතුයි. 2050 වන තෙක් නොසිට 2040 වන විට මෙම ඉලක්කය සපුරා ගැනීමට අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අපි ඉදිරි කටයුතු කරගෙන යනවා.
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත වූ පසු එය ජාතික ප්‍රතිපත්තිය බවට පත්වෙනවා. එතැන් සිට සෑම ආයතනයක්ම ඒ අනුව ක්‍රියා කළයුතු වන අතර රාජ්‍ය නොවන අංශයට ද ඒ අනුව කටයුතු කිරීමට සිදුවෙනවා.
ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කළ පරිසර නීතියේ සංශෝධන සිදු කිරීම අවශ්‍ය වී තිබෙනවා. එම පරිසර නීතිය සකස් කළේ 80 දශකයේදීයි. දැන් වන විට තත්ත්වය ඊට වඩා වෙනස් වී තිබෙනවා. එම සංශෝධන ද ඉදිරියේ දි සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පනතත්, දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ඇති කරන පනතත් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. මේ කෙටුම්පත් දෙකම නීතිගත කළ විට ශ්‍රී ලංකාව තුළ පරිසරය පිළිබඳව සහ දේශගුණික විපර්යාස සම්බන්ධ මූලික නීතිමය රාමුවක් ඇති වෙනවා.
ඒ වගේම හරිත ආර්ථිකයක් ඇති කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. හරිත ආර්ථිකයක් වෙනුවෙන් කරන වැඩසටහන් සඳහා මුදල් සොයා ගැනීම එම ඒකකය මඟින් සිදු වෙනවා. මෙම වසර අවසන් වන විට එම සම්පුර්ණ ක්‍රමවේදය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම දැනට ආරම්භ කර ඇති කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ද මෙම පරිසර ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. එමඟින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග පරිසර ප්‍රතිපත්තිද ගමට යනවා. එසේනම් එම වැඩකටයුතු අප ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා.
මුළු ලෝකයම දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමකට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක ලංකාව වැනි රටකට නිශ්ශබ්දව සිටීමට බැහැ. ඒ නිසා දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවල (COP) මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවලද පරිසරය වෙනුවෙන් ඉදිරියට පැමිණ කටයුතු කරන ලෙස මා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
මෙහි ප්‍රධාන කරුණක් ලෙස දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ රටවල් ගණනාවක් සමග අප සාකච්ඡා කර තිබෙන අතර මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම වෙනුවෙන් කොත්මලේ ප්‍රදේශයේ අක්කර 600ක භූමි ප්‍රදේශයක් ලබාගෙන තිබෙනවා. ඒ සඳහාවන කෙටුම්පත සැකසීමේ කටයුතු එළැඹෙන මාසයේ දී පමණ අවසන් වු පසු ඊට අදාළ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරනවා. එම වැඩකටයුතු අවසන් වීමෙන් පසු ලබන වසරේ ජූනි මාසයට පෙර එය නීතිගත කිරීමට බලාපොරොත්තු වෙනවා.
දේශගුණික විපර්යාසවලට මුහුණදීම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සඳහා අප මෙම විශ්වවිද්‍යාල භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ දී ගැටලු මතුවී තිබෙනවා. තුන්වන ලෝකයේ රටවල් කියන්නේ ඔවුන්ට මේ සඳහා මුදල් නොමැති බැවින් මුදල් ලබා දෙන ලෙසයි. නමුත් මගේ මතය වන්නේ සෑම රටක්ම එසේ පැවසීම අවශ්‍ය වන්නේ නැහැ. අද ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වයට මුහුණ දී සිටින ලංකාව පවා එසේ මුදල් ඉල්ලා සිටින්නේ නැහැ.
නමුත් අප්‍රිකාවේ ආර්ථික වශයෙන් නොදියුණු රටවලට දැනට ගෙවීමට තිබෙන ණය කපා හරින ලෙස අප ඉල්ලීමක් සිදු කර තිබෙනවා. අප ඒ වෙනුවෙන් තවත් රටවල් ගණනාවක් සමඟ එක්ව සිටිනවා.
ඒ වගේම බටහිර ලෝකයෙන් සහ දියුණු රටවලින් අපට මේ සඳහා ලබාදෙන බවට පොරොන්දු වූ මුදල් ලැබී නැහැ. නමුත් යුක්රේන යුද්ධයට ඇමරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දෙස අවධානය යොමු කළහොත් ඒ මුදල් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ කටයුතු සඳහා අපට වසර දෙකකට ප්‍රමාණවත් වෙනවා. රුසියාව වියදම් කරන මුදල් තවම ගණනය කර නැහැ. ඒ වගේම ගාසා තීරයේ යුද්ධයට යොදවන මුදල්, ඒ සඳහා යවන ආයුධ සඳහා දරණ පිරිවැය මෙම කටයුතු වෙනුවෙන් ලබාදුනහොත් ලෝකය වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා.
නමුත් මේ මුදල් ලැබෙයි කියා අපට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා නිවර්තන කලාපය ලෙස අපට අවශ්‍ය මුදල් අපම සොයා ගමු කියා ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා.
අප්‍රිකාවේ අඩුආදායම්ලාභී රටවලට සහනයක් ලබා දීමට ලොව දියුණු රටවලට බල කරන අතරම අපේ රටවලට අවශ්‍ය මුදල් අපිම සොයා ගනිමු.







