-
දින 05න් හෝටලෙන් ඇවිත්
- සංචාරය කරවන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් තොරව… ඔවුන් සමග සම්බන්ධීකරණය අත්හිටවලා..
- කලින් එකඟතා කඩ කරලා හිතු මතේ සෆාර් ජිප් 28ක් තිස්සමහාරාමයෙන් අරන්…
නියාමන ව්‍යාපෘතියක් ලෙස දැඩි සෞඛ්‍ය මඟපෙන්වීම් මාලාවක් යටතේ මෙරටට පැමිණි බව කියන පළමු යුක්රේන සංචාරකයන් කණ්ඩායම ම එහි මෙහෙයුම් කරුවන් විසින් අදාළ සෞඛ්‍ය නිර්නායක සහිත මගපෙන්වීම් මාලාව උල්ලංඝනය කරවමින් මෙරට සංචාරයේ යොදවන බව වාර්තා වේ.
රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංගගේ මෙහෙයවීම යටතේ පළමු වරට මෙරටට පැමිණි මෙම සංචාරකයන් මේ වනවිට සැලසුම් කළ ස්ථානවල සංචාරය කිරීම ආරම්භ කර ඇතත් මුලින් එකඟ වූ සම්මුතීන් අදාළ සංචාර මෙහෙයවන්නන් විසින් කඩකර ඇති බවත් මේ වනවිටත් සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ඔවුන්ගේ පවතින සම්බන්ධීකරණය පවා සිදු නොවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර ඇත.
එම පුවත්පත් වාර්තා කර ඇති ආකාරයට පසුගිය දෙසැම්බර් 28 වැනිදා මෙරටට පැමිණි මෙම කණ්ඩායම පී.සීආර් පරීක්ෂණවලට ලක් කොට අවම වශයෙන් දින හතක්වත් අදාළ හෝටලයේ නිරෝධායනය විය යුතු වුවද දින පහක් ගත වීමටත් පෙර සංචාර ආරම්භ කර ඇත.
ඒ අනුව පළමු කණ්ඩායම කණ්ඩායම් තුනක් ලෙස යාල ජාතික වනෝද්‍යානය වෙත රැගෙන ගොස් ඇති අතර එක් කණ්ඩායමක් මිරිස්සේ තල්මසුන් නැරඹීමටද එක්ව ඇති බව සඳහන් වේ. එසේ වුවද එහිදී අනුගමනය කළ යුතු මග පෙන්වීම් මාලාව අතහැර අති අතර මෙම සංචාරයන් සංචාරක සංවර්ධන අධිකාරියේ අධික්ෂණයෙන් තොරව ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වෙයි.
ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය නිර්නායක යටතේ අදාළ සංචාරකයන් රැගෙන යන වාහනවල රියදුරන් සහ යාල වනෝද්‍යානයේ ගමන් කිරීමේදී යොදා ගන්නා රියදුරන් කලින් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් සැලසුම් කර තිබුණද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් තහවුරු කරන ලද රියදුරන් වෙනුවට මෙම සංචාර මෙහෙයවන්නන් තිස්සමහාරාමයෙන් වෙනම ජීප් රථ 28ක් ලබාගෙන ඇත.
මෙම රියදුරන් පසුව සෙසු සමාජය සමඟ මුසු කිරීමේදී ඊට අදාළ පියටවර ගැනීමට මේ තත්ත්වය අනුව සංචාරක සංවර්ධන අධිකාරිය සහ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද සෞඛ්‍ය අංශවලටද අභියෝගයක් විය හැකි බව මේ පිළිබඳව කළ විමසීමකට සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය. කෙසේ වුවද මෙම යාල සංචාර සඳහා යොදා ගත් ජීප් රථ රියදුරන්ට දින 14ක් හෝටලයක නිරෝධායනය කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට තිබූ බව සඳහන් වෙයි.