මනම්පිටිය නිමල් ජයරත්න
යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව වැලිකන්ද කඩවත්මඩුව ප්‍රදේශයේ අද (21) සවස 3.00ට පමණ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය වැලිකන්ද පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන කාන්තාවක් බෝතලයකින් ඇනීම හේතුවෙන් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙසේ පහර කා ඇත්තේ වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයෙන් වරුන් දෙදෙනෙකි.
එම කාන්තාව බෝතලයක් කඩා බෝතලේ කොටසකින් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ වම් හා දකුණු අත ප්‍රදේශයට ඇනීමෙන් සිදුව තිබෙන තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකපිට කඩවතමඩුව නව මැණික්දෙනිය ගම්මානයේ පදිංචි, උක්කුං අක්කා යන නමින් හඳුන්වන නීති විරෝධී අරක්කු අලෙවියට ප්‍රසිද්ධව සිටින හතළිස් පස් වියැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය හෙට (22) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත බවද සමන්ත රත්නායක වැඩිදුරටත් කීය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.