යුක්තිය මෙහෙයුමට මාසයක් පිරෙන ලබන බදාදා (17) සෑම පොලිස් කොට්ඨාසයකම ඇති පන්සල්වල විහාරාධිපති හිමිවරුන් හා සම්බන්ධ වී ග්‍රාමීය මට්ටමින් බෝධි පූජා පින්කම් සංවිධානය කරන ලෙස ලංකාවේ සෑම පොලිසියකම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලැබී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
පන්සල හා ප්‍රජාව සම්බන්ධීකරණය කර ප්‍රජාව අතරින් ඇතිවුන උත්තේජනයක ප්‍රතිඵලයක් ලෙස හැඟෙන ආකාරයෙන් එම බෝධිපූජා පින්කම් මාලාව සංවිධානය කරන ලෙස මෙම උපදෙස්වල අවධාරණය කර ඇතැයි දැනගන්න තිබේ. ඊට අදාල ප්‍රචාරණය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හරහා ලබා ගැනීමට ද උපදෙස් ලැබී ඇත.
යුක්තිය ක්‍රියාන්විතයට ආශීර්වාද කර වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු මෙහෙයුම දියත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ සියලුම දෙනා වෙත සෙත් පැතීම ද මෙම බෝධිපූජා මාලාවේ එක් පරමාර්ථයක් බව ද වාර්තා වේ.
මේ උපදෙස් සම්බන්ධව පොලිසිය තුළ අතිශය උනන්දුවෙන් ක්‍රියාත්මකවන නිලධාරීන් මෙන්ම එහි ස්වරූපය සම්බන්ධ කලකිරුණු නිලධාරීන් පිරිසක් ද සිටින අතර උපදෙස් පිළිපැදීමට ඇති රාජකාරිමය බැඳීම හේතුවෙන් ඔවුහු එම සංවිධාන කටයුතු සිදුකරනු ලබතැයි පොලිසියේම ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසුවේය.