කීර්ති ප්‍රනාන්දු –
පසුගිය 2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික පල්ලි ඉලක්ක කරගත් ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළි කරන ලෙස තමන්වහන්සේ ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ආයාචනා කරන බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (25) ප්‍රකාශ කළහ.
“යුක්තියට ඇති ආදරය වෙනුවෙන්, ඔබේ ජනතාව කෙරෙහි ඇති ආදරය වෙනුවෙන් කරුණාකර මේ සිද්ධියට වගකිවයුතු පිරිස් සම්බන්ධව එකවරක් පැහැදිලි කරන්න…“ පාප් තුමෝ ඉල්ලා සිටියහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පවත්වන ලද දිව්‍ය පූජාව අවසානයේ ඊට සහභාගී වූ පාස්කු වින්දිතයින් සහි 3500කට අධික ඉතාලි වාසී ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව අමතමනි.
ශ්‍රී ලංකාවේ කාදිනල්තුමා යුක්තිය ඉල්ලා ප්‍රබල ලෙස හඬ නගමින් චෝදනා කරන්නේ, බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහ මොළකරු ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ යටපත් කරමින් සිටින බවයැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි..
පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සූදානම් කර තිබූ මෙම විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව කළ ප්‍රකාශයෙන් පසු පාප් වහන්සේ වින්දිතයින වෙත ගොස් ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවටත් ආශීර්වාද කළහ.
පාප් වහන්සේ ශ්‍රී ලාංකික කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියේ “ප්‍රචණ්ඩත්වයට සහ යුද්ධයට, විශේෂයෙන් ත්‍රස්තවාදයට ගොදුරු වූ සියලුම දෙනා වෙනුවෙන් යාච්ඤා කරන ලෙසය”.
උන්වහන්සේ මේ මොහොතේ ලංකාවේ පැන නැගී ඇති ධරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට රටට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් ද යාච්ඤා කළහ