දිනසේන රතුගමගේ –
යාපනයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පස් දෙනෙකුම ක්ෂය රෝගයට ගොදුරු වීමත් සමගම යාපනයේ සෞඛ්‍ය අංශ එම පාසල සම්බන්ධයෙන් තීන්දූ තීරණ රැසක් ගෙන තිබේ.
සමස්ත පාසලේම සිසුන් ක්ෂය රෝග පරීක්ෂාව සඳහා යොමු කොට ඇති අතර ඒ සදහා පාසල තුළ ජංගම සෞඛ්‍ය සේවා කඳවුරක්ද පවත්වා ගෙන යාමට පටන් ගෙන තිබේ.
මෙම පාසලේ 14 හැවිරිදි එක් සිසුවෙකු අසාමාන්‍ය ලෙස බර අඩුවීම නිසා ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ඔහුගේ දෙමව්පියන් රැගෙන ගිය අවස්ථාවේදි වෛද්‍යවරු ඔහුට ක්ෂය රෝගය වැළදී ඇති බව තහවුරු කරගෙන තිබේ.
පසුව යාපනය ශික්ෂණ රෝහලේ පිරිසක් පැමිණ එම සිසුවා සමග එකට සිටින සිසුන් පිරිසක් පරීක්ෂාවට ලක් කිරීමේදී තවත් සිසුන් හතර දෙනෙකුට ක්ෂය රෝගය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව එම පාසල තුළ සෞඛ්‍ය කඳවුරක් ආරම්භ කොට ඇත.
පාසලේ සියළුම සිසුන්ට මුඛ ආවරණ පලදින ලෙස උපදෙස් දී ඇති අතර ක්ෂය රෝගය වැළදුණු සිසුන්ට දින කීපයක් පාසලට නොපැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.
පාසල්වල නිවාඩු කාලය ආරම්භ වන නිසා එම තත්ත්වය සිසුන්ට අවාසියක් නොවන බව පෙන්වා දෙන යාපනයේ සෞඛ්‍ය අංශ එම සිසුන් පෞද්ගලික පන්තිවලට සහභාගී වීම හා අලුත් අවුරුද්ද සැමරීමේදී වඩාත් ආරාක්ෂාකාරීව ක්‍රියා කරණ ලෙසට උපදෙස් ලබා දී තිබේ.
යාපනයේ එම පාසල තුළ ක්ෂය රෝගය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ නොකඩවා සිදු කරගෙන යයි.