දිනසේන රතුගමගේ –
යාපනයේ මැතිවරණ ප්‍රචාරක කටයුවල නිරත වෙමින් සිටි පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක් ඇතුලු තුන් දෙනෙකු තුවාල ලබා 26 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
යාපනයේ කෝපායි කරන්දන් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ නිවෙවලට පයින් යමින් සිටි දෙමළ ජාතික සන්ධනයේ හක්ගෙඩිය ලකුණින් තරග වදින අපේක්ෂකයින්ට ආධාර ඉල්ලා ගිය පිරිසකටය.
ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් එක්වරම මේ පිරිසට පහර එල්ල කොට පලා ගිය බව මේ සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති වී.මනිවන්නන් කෝපායි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
ත්‍රී රෝද රථයෙන් පැමිණ පහර එල්ල කළ හතර දෙනා එම ස්ථානයෙන් පිටත්ව ගිය පසුව එතැනට යළි පැමිණි විස්සක් පමණ දෙනා යළිත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතව සිටි පිරිසට පහර දී තිබේ.
මෙම ප්‍රහාරයත් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ආධාර කරුවන් විසින් කළ පහර දීමක් බවට සැකකරණ බව හක්ගෙඩිය ලකුණින් තරග කරන පිරිස පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් පසුගිය රජයෙන් මත්පැන් අලෙවි හල් සඳහා බලපත්‍ර ලබා ගෙන තිබීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් නගන හඬ බවද පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
කෝපායී පොලීසිය මෙම පහර දීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







