දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටව ගියේය. පිටවී යෑමට පෙර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එක්ව ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කළේය. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේය.
අනුරාධපුරයේ දී ජනාධිපති අනුර සහ ඉන්දීය අගමැති මෝදි එකම රථයක ගමන් ගත්තේය.” මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා සමග අනුරාධපුරයේ දී…” ඡායාරූපයක් පළකරමින් අගමැති මෝදි සිය X ගිනුමේ ලියා තිබිණි. අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උඩමළුවට ගොස් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වන්දනා කළහ.

“දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තෙමි. බෞද්ධයන්ගේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ පුදබිමක කාලය ගත කිරීම කුදු බව පසක් කරන මොහොතකි. එය සාමය, බුද්ධිය සහ ආධ්‍යාත්මික අඛණ්ඩතාවය පිළිබඳ ජීවමාන සංකේතයකි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සැමවිටම අපට මඟ පෙන්වනු ලැබේවායි ප්‍රාර්ථනා කරමි.” සිය එක්ස් ගිනුමේ මෝදි සටහන් කර තිබිණි.

අනතුරුව ජනාධිපති වරුන් දෙදෙනා විසින් මහව – ඕමන්ත නවීකරණය කළ දුම්රිය මාර්ගය විවෘත කළේය. මෝදි අගමැතිවරයා ඒ සම්බන්ධවත් සිය X ගිනුමේ සටහනක් තබා තිබිණි. අනුරාධපුරයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සහ මම දැනට පවතින මහව-ඕමන්තේ දුම්රිය මාර්ගයේ නවීකරණය කළ මාර්ගය විවෘත කළෙමු. මහව-අනුරාධපුරය කොටස සඳහා වැඩි දියුණු කරන ලද සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ද දියත් කරන ලදී.
ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේ විවිධ පැතිකඩ සඳහා සහය වීම ඉන්දියාවට ආඩම්බරයකි.

ඔහු අනුරාධපුරයේ සිට තමිල්නාඩුව බලා පිටත්වී ගියේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට එක්වීම සදහාය.
“මගේ සංචාරයේදී ලබා දුන් උණුසුම වෙනුවෙන් ජනාධිපති දිසානායක මහතාට, ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට මම බෙහෙවින් කෘතඥ වෙනවා.
කොළඹ හෝ අනුරාධපුරයේ වේවා, මෙම සංචාරය අපගේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර තිබෙනවා. එය නිසැකවම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති.” ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කරන නරේන්ද්‍ර මෝදි සිය සංචාරය නිමා කරමින් X ගිණුමේ සටනක් තබා තිබිණි.








