සිය පක්ෂයට බයියෝ, ටොයියෝ, කයියෝ තුන් වර්ගයම අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ වැඩ්ඩන්ගේ වේදිකාවක් බවට මේ පක්ෂය පත් කර ගැනීම බවත් එක්සත් ජනරජ පෙරමුණේ ආරම්භක සමුළුව අමතමින් එහි නායක පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
එලෙසම අවරගණයේ ජනකාන්තවාදීන් ද සිය පක්ෂයට අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය. මේ වන විටත් සිය පක්ෂය හා එක් වී සිටින්නේ පාඩු ලැබූ විදුලි බල මණ්ඩලය කෝටි 2000ක් ලාභ ලබන ආයතනයක් බවට පත් කළ කණ්ඩායම, තෙල් මිල අඩු කළ නොහැකි බව පවසද්දී ටෙන්ඩර් 4ක් මාරු කරමින් තෙල් මිල අඩු කිරීමට උර දුන් කණ්ඩායම සේම අවුරුදු 70ක් පැරණි තෙල් නල පද්ධතිය අලුත්වැඩියා කළ ඉංජිනේරු කණ්ඩායම වැනි දක්ෂ පිරිසක් බව ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපති පවා අකැමැත්ත පළ වරාය නගරය මාස 26ක කාලයක් තුළ සෑදීමට තමන් ඇතුලු පිරිසට හැකි වූ බවත් මේ වන විටත් බංකොලොත් වී තිබෙන රට වසර තුනක් ඇතුළත යළි යහපත් අතට හරවන සැලැස්ම සිය පක්ෂය සතු බව ද රණවක මහතා සඳහන් කළේය.
“අපේ රටේ ධනෝත්පාදනය කරන්න අවශ්‍ය වන්නේ තිරසර සමාජ ආර්ථික වෙළෙඳපොලක්.. දූෂණය නැති වූ පමණින්ම රටක් දියුණු වෙන්නේ නෑ.. ධනෝත්පාදන ක්‍රමයක් තියෙන්න ඕනේ.. අපි ළඟ තියෙනවා ඒකට අවශ්‍ය සැලසුම.. තිරසර නිර්මිත පරිසරයක්.. සංතෘෂ්ටික ජීවිතයක් ගෙවන්න පුළුවන් වැඩපළිවෙලක් අපි ළඟ තියෙනවා.. මීට කලින් හරිත බලශක්තිය තේමා ඇති කළේ අපි.. සූර්ය බලකෝශ ආර්ම්භ කරලා මෙගාවොට් 700ක් උත්පාදනය කරනවා දැන්.. ප්‍රධාන සුළං බලාගාර ඇති කළා.. ඉස්සරහට පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න ප්‍රවාහන ක්‍රමවේද ගේනවා.. මිනිස්සුන්ට පහසුවෙන් සැපපහසුවට ගමන් කරන්න පුළුවන් විදියට ප්‍රවාහනය ශක්තිමත් කරනවා..”
නව පක්ෂයේ නායකවරයා සඳහන් කළේය.
අද ශ්‍රී ලංකාවේ ජනරජ දිනය බවත් සිය පක්ෂයේ ආරම්භය ද මේ දිනයට ගෙන ආවේ එම දිනය ඉතා වැදගත් නිසා බවත් ඔහු සඳහන් කළේය.
පක්ෂ 83ක් තිබුණත් නව පක්ෂයක අවශ්‍යතාවයක් රටට තිබෙන අතර කෙටි කලකින් රටේ කඩා වැටීම නවතා ධනාත්මක පරිවර්තනයක් ඇති කරන පක්ෂයක් තිබිය යුතුම බව ඔහු පැහැදිලි කළේය. එලෙසම මුස්ලිම්, සිංහල, උඩරට, පහතරට, ආගමික හා ආදි ශිෂ්‍ය වැනි දේශපාලනයන් තවදුරටත් ශ්‍රී ලංකාවට නොගැලපෙන බවත් මේ අර්බුදයෙන් ගැලවීමට කළ යුත්තේ මෙවැනි අනන්‍යතා දේශපාලනයන්ගෙන් මිදී කටයුතු කිරීම බව ද ඔහු පැහැදිලි කළේය.
තමන්ගේ අරමුණ අනාගත දරුවන්ට රට යහපත් රටක් කරමින් බාර දීම මිසක පවුල් දේශපාලනයක් කරමින් සිය බලය තහවුරු කර ගැනිම නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.