මෙරටට දැනට ලැබී ඇති බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ෆයිසර් එන්නත් මාත්‍රා පනස් දෙදහක ප්‍රමාණයට අමතරව වාර්තා නොකරන ලද තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් හොර රහසේ රට තුළට ගෙන්වා ඇති බව වාර්තා වේ.
මේ අනුව අද ලැබුණු බව නිලවශයෙන් ප්‍රකාශ කළ ෆයිසර් එන්නත් මාත්‍රා 26000ට අමතරව තවත් හෙළි නොකළ මාත්‍රා ප්‍රමාණයක් එම ගුවන් යානයෙන්ම ගෙන්වා ඇති බව හෙළි වී ඇත.
එමෙන්ම වෙනත් ගුවන් යානයකින් ද කිලෝ 115ක් බර පාර්සල් දෙකක් ලෙස ෆයිසර් එන්නත් ප්‍රමාණයක් ගෙන්වා ඇති බවත්, එම ඇසුරුම්වල තිබෙන්නේ ෆයිසර් එන්නත් බව ගුවන් තොටුපල කාර්යභාර නිලධාරියා විසින් තහවුරු කර ඇති බවත් වාර්තා වේ.
මේ රහසිතගතව ගෙන්වන ලද එන්නත් එසේ ගෙන්වූයේ මන්ද, ඒ පිළිබඳව පිළිගත හැකි ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නොකරන්නේ කුමක් නිසාදැයි අද (12) පැවති පුවත්පත් සාකච්ඡාවක දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවගෙන් මාධ්‍යවේදීන් විමසු විට ඔහු සඳහන් කළේ තමන් ඒ පිලිබඳව කිසිවක් නොදන්නා බවකි.
ඒ පිළිබඳව නිසි තොරතුරක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබා ගත හැකි බවත් අධ්‍යක්ෂවරයා කීවේය.
කෙසේ නමුත් දැනට මෙරටට ගෙන්වා තිබෙන ෆයිසර් එන්නත් අධ්‍යාපනය සඳහා විදේශ රටවල් වෙත යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීම යුධහමුදා රෝහලේදී සිදුකරන බවත් ඒ සඳහා ලියාපදංචි වී සිටින ශිෂ්‍යයින්ට ලැබෙන එස්එම්එස් කෙටිපණිවිඩයට අනුව අදාල දිනට පැමිණ එන්නත ලබා ගත හැකි බවත් රැකියාවන් සඳහා විදේශගත වන්නන් එන්නත ඉල්ලුම් කර ඇති බැවින් ඉදිරියේදී ඔවුන්ටද එය ලබා දීමට අවධානය යොමුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මීට පෙර සඳහන් කළේ ෆයිසර් එන්නත මන්නාරම් ධීවර ප්‍රජාවට ලබා දෙන බවකි.