-
රන් කරඬු 07යි… පළිඟු කරඬු 03යි… දාගැබේ පැරණිම අනුරුව ගැන කී ලෝකයේ ඇති එකම කරඬුවත් ඒ අතර…
මිහිදු හිමියන්ගේ අනුශාසනා සහිතව දේවනපෑතිස් රජ දවස කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ගර්භයෙන් හමුවූ ලෝකයේ දුර්ලභම පුරාවස්තු සේ සැලකෙන පෞරාණික රන් කරඬු හතක් සහ පළිඟු කරඬු තුනක් නිධන් කොල්ලකරුවන් විසින් ඊයේ (11) රාත්‍රියේ පැහැරගෙන ගොස් තිබේ.
පැහැරගත් කරඬු අතර ලෝක ස්ථූප වංශ කථාව සාධනය කරන ලෝකයේ හොඳන්ම ආරක්ෂා වී ඇති අතිශය පෞරාණික දාගැබ් අනුරුව සේ සැලකෙන රන්මුවා කරඬුව ද තිබෙන බව වාර්තා වේ. එම කරඬුවේ පෞරණික දාගැබක ස්වරූපය ප්‍රකට වූ බවත්, ගර්භයේ සිට ඉහළට එන යූපය, යූපයට ගෞරවයක් ලෙස චත්‍ර නැන්වීම සඳහා පසෙකින් සවිකළ චත්‍ර දණ්ඩ, හතරැස් කොටුවේ මුල් අවස්ථාව වන දඬු වැටකින් යූපය චත්‍ර දණ්ඩ හා චත්‍රය වටකළ මේධිය, හා මේධිය සිවු කොන්නි කොඩි නන්වා ඇති ආකාරය සහිත මෙම කරඬුව ලෝකයේ ඒ ආකාරයෙන් ආරක්ෂා වී තිබුණු එකම දාගැබ් අනුරුව විය.
දෙවන පෑතිස් රජ සමයේ ඉදිවූ මෙම දාගබ කිසිම ආකාරයක ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ ලංකාවේ ඇති එකම පෞරාණික දාගැබ්වහන්සේ ය. එබැවින් මෙම දාගැබේ නිධන් කර තිබූ කරඬු අතිශයින්ම වැදගත් වන්නේ එම නිර්මිතයන් මිහිඳු මාහිමියන්ගේ උපදෙස් මත දෙවනෑපිතිස් රජ දවස ලංකාවේ සිටි වාස්තු ශිල්පීන් විසින් ඉදිකළබව ඓතිහාසික දතත් මගින් තහවුරු වී තිබීම හේතුවෙනි.
මෙම පෞරාණික කරඬු ලෝක දාගැබ් වංසකතාවට අතිශයින්ම වැදගත් වූයේ දාගැබක පරිණාමය පිළිබඳ දැක්විය හැකි වූ ජීවමාන සාධක මෙම කරඬු වලින් ප්‍රකාශිත වීම නිසාය. මේ කරඬු නිර්මාණය වී තිබුණේ මිහිඳු මාහිමියන් ජීවමානව වැඩ සිටි වකවානුවේ තත්කාලීන දාගැබ්වල අනුරූ ලෙසිනි.
සොරාගෙන ඇති අතිශය වැදගත් කරඬු අතර එම වකවානුවේ ලෝක ස්ථූප නිර්මාණ ප්‍රවණතාවයක් වූ දඹදිව සාංචි ස්ථූපයේ හැඩය ගත් පෞරාණික කරඬුවද වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනාරල් මහාචාර්ය අනුර මනතුංග ලංකාසරට පැවසීය.
සාංචි ස්ථූපයට සමාන හැඩයක් සහිත කරඬු දැනට ලංකාවෙන් හමුවී ඇත්තේ තුනකි. ඒ රුවන්වැලි මහ සෑයෙන්, මිහිදු මහ සෑයෙන් හා දැලිවල කොටවෙහෙරින් හමුවූ රන් කරඬුය. මෙම කරඬු තුනෙන් සාංචි ස්ථූපයේ හැඩයට වඩාත් සමීප වන්නේ දැලිවල කොටවෙහෙරෙන් ලද දඹරන් කරඬුවය.
කෙසේ වෙතත් වසර දෙදහසකට වඩා පැරණි සේද රෙදි කඩකින් ඔතා දාගැබ් ගර්භයේ තැන්පත් කර තිබියදී සොයා ගත් රන් කරඬුව පැහැරගෙන නැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
දැලිවල කොටවෙහෙරින් හමුවූ මේ අතිශය පෞරාණික මෙන්ම බෞද්ධ ඉතිහාසයේ සාතිශය දුර්ලභ දඹරන් කරඬු හා කෞතුක භාණ්ඩ සහිත පුරාවස්තු සමූහය විහාර භූමියෙන් ඉවත් කරගෙන කෞතුකාගාරයක තැන්පත් කිරීමට එම විහාරාධිපති හිමියන් ඉඩ දී තිබුණේ නැත. එබැවින් එම කරඬු පැවතියේ විහරස්ථාන භූමියේ කුටියකය.
අද උදෑසන විහාරාධිපති හිමියන් බුද්ධ පූජාව තබන්නට එන විට මෙම කොල්ලය ගැන දැනගන්නට ලැබී පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව සහ පොලිසිය දැනුම්වත් කර තිබේ. පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.