නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ බැහැ දැකීමට අද (24) එම විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවේය.
රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන නාහිමිපාණන්වහන්සේ මෙහිදී විපක්ෂ නායකයාට අනුශාසනා කළ අතර රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා නාහිමිපාණන්වහන්සේව දැනුවත් කරනු ලැබීය.
කොරෝනා උවදුර හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්ව ඇති ජන ජීවිත නැංවීම පිළිබඳවද ,විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් හටගෙන ඇති ව්‍යාකූලත්වය ද ඒ මහතා නාහිමිපාණන්වහන්සේගේ අවධානයට යොමු කරනු ලැබීය.
විසිවෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් පිරිස පිළිබඳව දැඩි තීන්දු ගත් බවත්,ඔලුගෙඩි මාරුවෙන් කරන දේශපාලන ක්‍රියාදාමය තමන් අනුමත නොකරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීම උදෙසා තමන් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ අවධානයට යොමු කළ බව කී විපක්ෂ නායකයා ,හිටපු හමුදපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ද එවන් තහනමක් පනවා තිබූ බවද කීය.
විපක්ෂ නායකයා ගෙන එන සියලු ජනතාවාදි කටයුතු උදෙසා පක්ෂ පාට භේදයකින් තොරව ආශිර්වාද කරන බවත් එහිදී පුද්ගල සාධක ඉවහල් නොවන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ පැවසූහ.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳව ද සිහිපත් කළ උන් වහන්සේ එතුමාගේ අඩිපාරේ යමින් රට වෙනුවෙන් සේවය කරන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අනුශාසනා කළහ.