දයා ගමගේ ගනු ලැබූ කෝටි ගණනක ණය මුදල් බොල් ණය ලෙස කපා හැරීම සම්බන්ධව තමා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලියුමක් එවීමට නියෝග දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පසු මහජන බැංකුවට පවරා ඇති ප්‍රථම රාජකාරිය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ, මහජන බැංකුවෙන් ලබා ගත් ණය බොල් ණය වශයෙන් කපා හැර ඇතැයි කෝප් කමිටුවේදී හෙලිවුණු බව පවසමින් ශානකියන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය වැරදි යැයි මහජන බැංකුවේ සභාපති සජීව රාජපක්ෂ මේ වනවිට මන්ත්‍රීවරයාට ලියුමකින් දැනුම් දීම පිළිබඳව ඔහු මෙම ප්‍රකාශ කළේය.
මහජන බැංකුව රාසමාණික්කම් මන්ත්‍රීවරයට එම ලිපියෙන් දන්වා ඇත්තේ දයා ගමගේ ලබා ගත් ණය බොල් ණය ලෙස කපා හැර නැති අතර එම මුදල නීත්‍යනුකූලව බැංකුවට යළි ලබා ගන්නේ කෙසේදැයි සොයා බැලීම් සිදු කරමින් සිටින බවය.
අක්‍රිය ණය 10ක් පිළිබඳ තොරතුරුත් එහි සඳහන්ව ඇතැයි ශානකියන් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේ දී හෙළි කළේය.
වසර පහක් තිස්සේ එම ණය අය කර නොගෙන මෙතරම් කාලයක් මහජන බැංකුව පොල් ගෑවාදැයි ඔහු ප්‍රශ්න කළේය.
මහජන බැංකුව තමා නිවැරදි කරමින් ලියුම් එවූ මොහොතේ බිලියන ගණනින් ණය තිබෙන ආයතනවලට ලියුම් යවා එම මුදල් අය කර ගැනීමට උත්සාහයක් ගත්තේ නම් අගනා බව ද ඔහු සඳහන් කළේය.
“හයර් එකක් දුවන්න ත්‍රීරෝද රථයක් ගන්න මිනිහගෙන් වාරික දෙකක් මිස් වුණා නම්, පාසැල් වෑන් රථයක වාරිකයක් මිස් වුණා නම්, සංචාරක කර්මාන්තේ කරන කෙනෙක්ගෙන් වාරික මිස් වුණානම් තග්ස්ලා දාලා වාහන උස්සලා ෆිනෑන්ස් කම්පැනිවලින් සල්ලි අය කර ගන්නේ.. ක්‍රෙඩිට් කාර්ඩ් එකක ගෙවන්න තියෙන දිනේ පහු වුණාම කෝල්ස් බර ගාණක් එනවා..
ඒත් මහජන බැංකුව මෙච්චර ණය තියෙන මිනිස්සුන්ගෙන් ණය අරගන්න මොනවද කළේ.“
“සාමාන්‍යයෙන් ණයක් දෙන්න කලින් බැංකුවකින් ගැරන්ට් එකක් ඉල්ලනවා. මොනවද මේ අයගෙන් ගත්ත ගැරන්ට් එක. මේ ජනතාවගෙන් හොරාගත්ත සල්ලි ටික එකතු කරගෙන ලෝන් ගෙවාගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට බෙදලා දුන්නා නම් ඒ මිනිස්සුන්ගේ ණය ටික හරි කැපිලා යනවා..”
රජයේ බැංකුවක්වන මහජන බැංකුවෙන් ඉතා විශාල මුදල් ණය වශයෙන් ලබා දී ඒවා අය කර නොගෙන සිටින්නේ එම ආයතන හිමිකරුවන් අග්‍රමාත්‍යවරාගේ මිත්‍රයන් නිසා විය යුතු බව ද, ඒ ණය ලබා දීමට මූලිකත්වය ගෙන ඇත්තේ ද අග්‍රාමාත්‍යවරයා විය යුතු යැයි ද ශානකියන් රාමාණික්කම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.