කෙළවරපිටිය යෝජිත එල්.එන්.ජී. බලාගාරය සඳහා වැලි පුරවා සංවර්ධනය කරනු ලැබීම සඳහා යෝජිත අක්කර සියයක භූමිය කිසිසේත්ම මුතුරාජවෙල ගැසට්කර ඇති පරිසර සංරක්ෂණ කලාපයට අයත් නොවන බවත් මෙම ඉදිකිරීම සඳහා වූ පාරිසරික බලපෑම් හානි ඇගයුම් වාර්තාවට ජනතා අදහස් හා ප්‍රතිචාර ලබා ගැනීමේ කාලය ජූලි මස 05 දා සිට අගෝස්තු මස 17 තෙක් දීර්ඝ කර ඇති බවත් පරිසර ඇමති මහින්ද අමවීර අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඇමතිවරයා කීවේ ජාතික පාරිසරික පනත අනුව පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවකට මහජන අදහස් ලබා ගැනීම සඳහා වැඩකරන දින 30ක කාලයක් විවෘතව තබන බවය.
ඒ අනුව මුතුරාජවෙල වැලිපුරවා සංවර්ධනය කිරීමට යෝජිත ඉඩම හා සම්බන්ධ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කරන ලද පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව 21.05.21 දින මහජන පරීක්ෂාව සඳහා දින 30ක කාලයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විවෘතව තබා ඇත.
වත්තල ප්‍රාදේශිය සභාව, වත්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වත්තල පුස්තකාලය, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරි ප්‍රධාන කාර්යාලය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මධ්‍යම පරිසර අධිකාරයේ වෙබ් අඩවිය තුළ මේ සඳහා අවස්ථාව 20.05.21 සිට 21.07.08 තෙක් විවෘත තිබී ඇත.
පවතින කොවිඩ් වසංගත තත්වය හා කාදිනල් හිමියන් සමග ප්‍රදේශයේ ජනතාව එක්ව කළ ඉල්ලීම් ද සලකා බලමින් මහජන අදහස් ලබා ගැනීමේ කාලය අගෝස්තු මස 17 දක්වා දීර්ඝ කළ බව ඇමතිවරයා කීවේය.
සියල්ලන්ගේම අදහස් බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා මුතුරාවෙල කලපුව ඇතුළු හෙක්ටයාර් 6000ක භූමි ප්‍රමාණයක් ගැසට් කර පරිසර සංරක්ෂණ කලාපයක් ලෙස ගොඩනැගීමට අවශ්‍ය පියවර මේ වනවිට රැගෙන ඇති බව කීවේය.