මීගහතැන්න පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ දී හමුදාව සමග ගැටීමක් ඇති කරගත් කණ්ඩායමක් පාලනය කරගැනීම සඳහා හමුදාවට අද රාත්‍රියේ අහසට වෙඩි තබන්නට සිදුවූයේය. ඒ සිදුවන්නට ගිය බිහිසුණු ඇනතුරක් වළක්වා සාමය ආරක්ෂා කර ගැනීම සදහාය.
ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබි ඇත්තේ දින 04කට පසුය. එයින් ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීමට බූලි රැගෙන පැමිණි පුද්ගලයෙක් පොලිස් නිලධාරීන් විසිනි වැලැක්වීමට යෑමේ දී ඇති වූ බහින්බස් වීම වැලැක්වීමට ඉන්ධන හලේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරියෙක් එම ස්ථානයට ගොස් තිබේ.
ඒ අවස්ථාවේ දී ආරවුල ඇති කරගත් තැනැත්තාට හිතවත් පිරිසක් හමුදා සෙබළාගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමෙන් ගැටුම දුර දිග ගොස් තිබේ. ඒ අවස්ථාවේ දී විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල අසලට රැස් වී එය ගිනි තැබීමට උත්සාහ කර තිබේ.
මේ අවස්ථාවේ දී පිරිස විසුරුවා හැරීමට ආරක්ෂක අංශවලට අහසට වෙඩි තැබීමට සිදු වී ඇත.
ආරක්ෂාකාරී පියවරක් ලෙස ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට නොගත් අතර ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය පවසයි.