මනම්පිටිය නිමල් ජයරත්න –
-
අවට පන්සල්වලටත් කතා කරලා පාංශුකූලයට නොවඩින ලෙස බලපෑම් කරලා…. පොලිිසිය මැදිහත් වී අසල පන්සලකින් හිමිවරු 10 නමක් ගෙන්වා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූලය දෙයි….
මියගිය හැටහය වියැති තම මවගේ පාංශුකූල කටයුතු සඳහා පැමිණීමට ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ රුපියල් විසිහතරදාහක මුදලක් ඉල්ලා සිටින බව පවසා එම පුතු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිසිය මැදිහත්වීමෙන් වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා පොලිස් ආරක්ෂාව මැද එම මාතාවගේ පාංශුකූලය සිදුකළ පුවතක් දිඹුලාගල අරලගංවිල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
අරලගංවිල සූරියගල රුහුණගම අංක 164 ලිපිනයේ පදිංචි එන්.පී.දොලි මැණිකේ නැමැති 66 හැවිරිදි හත් දරු මවක් ඉකුත් දෙවැනිදා මියගොස් තිබේ.
මවගේ පාංශුකූලයට වැඩම කරන ලෙස පන්සලේ නායක හිමියන්ට ආරාධනා කරන්නට ගිය සඳකැළුම් සම්පත් කුමාර නැමති ඒ මවගේ පුතා අමතමින් එම හිමියන් පවසා ඇත්තේ පාංශුකූලයට වැඩීමට නම් රුපියල් විසි හතර දහසක් අවශ්‍ය බවය.
පන්සලෙන් කෙලින්ම අරලගංවිල පොලිසියට ගිය මෙම පුද්ගලයා විසින් සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් කර ඇත.
අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල අප කළ විමසීමකදී සඳහන් කළේ මෙම පැමිණිල්ලෙන් අනතුරුව විහාරාධිපති හිමියන් පොලිසියට ගෙන්වා මේ පවුල වැටී ඇති අසරණ තත්ත්වය පිළිබඳව ආයාචනාත්මක දැනුම්වත් කිරීමක් කළ බවය.
පැය දෙකකට අධික කාලයක් තමන් ස්වාමීන් වහන්සේට තත්වය පහදා දීමට උත්සාහ කළත් ඉන් පලක් නොවුන හෙයින් පොලිසිය මැදිහත් වී කජුවත්ත ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩම කරවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු කර මවගේ දේහයේ අවසන් කටයුතු බඩල්කුඹුර පොදු සූසාන භූමියේ සිදුකළ බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.
වාර්තාවන පරිදි මවගේ බරපතල රෝග තත්ත්වය නිසා මේ පවුලට වසර දෙකකට අධික කාලයක් විහාරස්ථානයට දානය ලබා දීමට නොහැකි වී ඇත.
නායක හිමියන් මවගේ පාංශුකූලයට වැඩම කිරීම සඳහා රුපියල් 24000ක් ඉල්ලා ඇත්තේ ඊට දඩ මුදල වශයෙනි. මසකට රුපියල් දහස බැගින් මාස 24ට රුපියල් 24000ක් දායක සභාවට ගෙවිය යුතු බවට නායක හිමියන් පාංශුකූල ආරාධනාවට ගිය පුතාට තරයේ ප්‍රකාශකර ඇත.
අනතුරුව පවුලට ඥාති සම්බන්ධකම් තිබෙන මිහින්තලේ විහාරාධිපති ස්වාමින්වහන්සේ නමක් පාංශුකූල කටයුතුවලට වඩින බව දැනගත් නායක හිමියන් එම ගමන ද වළක්වා ඇත.
මෙම තත්ත්වයෙන් අසරණභාවයට පත් පුතු බැරිම තැන පොලීසියට මේ පිළිබඳ පැමිණිලි කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අදාල විහාරාධිපති හිමිනම අවට විහාරස්ථානවලට සහ කජුවත්ත ආරාමයේ විහාරාධිපති ස්වාමිනවහන්සේලාට එම නිවසේ පාංශුකූල වලට සහ අවසන් කටයුතුවලට නොවඩින බවට බලපෑම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
අනතුරුව පොලිසිය මැදිහත්වීමෙන් කජුවත්ත ආරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමග පොලිසිය සිදුකළ සාකච්ඡාවකින් පසු උන්වහන්සේලා කිසිදු ප්‍රවාහන ගාස්තුවකින් තොරව වෑන් රථයකින් පැමිණ මවගේ අවසන් කටයුතු සිදු කර තිබේ.
එම ස්වාමීන්වහන්සේලා අදාල විහාරාධිපති ස්වාමීන්වහන්සේ හමුවි සාකච්ඡාවක් කර එම ගැටලුව නිරාකරණය ගැනීමට හැකියාව ලැබි ඇති බවද අරලගංවිල පොලිසිය පවසයි.
මේ පිලිබදව කරුණු විමසීමට විහාරාධිපති ස්වාමීන්වහන්සේ කිහිපවරක් සම්බන්ද කරගැනීමට උත්සාහ දැරුවද එය අසාර්ථක විය..