කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
ලංකාවේ දෙවන කොවිඩ් රැල්ලේ පළමු ආසාදිතයා නිල වශයෙන් වාර්තා වුණු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළු කම්හල හෙට (04) විවෘත වන බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සී.පී. විජේසූරිය ලංකාසරට පැවසුවාය.
දෙවන රැල්ලෙන් වාර්තාවූ මුල්ම කොවිඩ් ආසාදිත රෝගී කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් හමුවන්නේ ඔක්තොම්බර් 02 දාය. අනතුරුව ඔක්තොම්බර් 03 දා ආයතනය වසා දමන ලදී.
ඒ වනවිට ආයතනයේ සේවක සේවිකාවෝ 1500ක් පමණ සේවය කරමින් සිටියහ. පී.සී.ආර් පරීක්ෂණ වලින් පසු හෙළි වූයේ එහි කාර්ය මණ්ඩලයේ දහසකට වැඩි පිිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බවය.
කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ ඔවුහු මේ වනවිට සුවය ලබා සිටිති. ආයතනය වසා දමා තිබුණු කාලයේ පාලන අධිකාරිය ආයතනය මුළුමනින්ම විෂබීජහරණය කර එහි අමුද්‍රව්‍ය තොගයක් හා මැෂින් ප්‍රමාණයක් වෙනත් ආයතනයකට රැගෙන යන්නටත් කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් සියලුම සෞඛ්‍ය නීති නිසි අයුරින් ආරක්ෂා කරගනිමින්, සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අදියර කීපයකට ආයතනයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අනුමැතිය ලබා දුන් බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සී.පී. විජේසූරිය කීවාය.
මුල් අදියරේ දී සේවකයින් 150ක් පමණ ගෙන්වාගෙන ආයතනයේ කැපුම් අංශයේ කටයුතු හෙට (04) ඇරඹීමට නියමිතය.







