කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් කෝවිඩ් ඕමික්‍රොර්න් ආසාදිතයකු ලෙස පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පවසයි.
පෙර පාසල් ගුරුවරියට මෙම වෛරසය ආසාදනය වී ඇති සබඳතා ජාලය පිළිබඳව කිසිවක් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද එම ප්‍රකාශකයා කියයි.
මේ වන විට එම පෙර පාසල තාවකාලිකව වසා දමා ඇති අතර පෙර පාසලේ ඉගෙනුම ලැබූ දරුවන් විසි දෙනකු , එහි ප්‍රධාන පාලිකාව සහ තවත් ගුරුවරියක් නිරෝධායනයට ලක් කර ඇති බවද එම ප්‍රකාශකයා කීය.
මෙම පෙර පාසල් ගුරුවරියට මීට දින ගණනකට පෙර කෝරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදු කළ පි.සි.ආර්. පරීක්ෂණයකින් පසුව ඇය කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීමේදී මෙම පෙර පාසල් ගුරුවරියට ආසාදනය වී ඇත්තේ කොව්ඩ් ඕමික්ක්‍රොර්න් වයිරස බවට තහවුරු වී ඇත.
මෙතෙක් පෙර පාසලේ කිසිදු දරුවෙකුට හෝ ගුරුවරියන් දෙදෙනාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් නිරෝධායනයට ලක් කර සිටින එම පෙර පාසල් දරුවන් පිරිස සහ ගුරුවරියන් දෙදෙනා අද (03) දින පී. සී .ආර්. පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.