මීගොඩ බී.කේ. කස්ත්‍රිආරච්චි –
කුඩා කල සිට තමන් ලඟ හැදී වැඩුන දරුවා මිනී මැරීමට නොව, සතෙකුටවත් ගලකින් ගසන අයෙක් නොවන බවත්, මේ සාහසික පොලිස් අපරාධය සම්බන්ධව විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ ගුවන් හමුදා රග්බි ක්‍රීඩක රාජපක්ෂ පතිරගේ දිමන්ත ලක්මාල් ගේ නැන්දනිය මල්ලිකා රාජපක්ෂ ප්‍රකාශ කළාය.
සිද්ධිය වන දින රාත්‍රී 11ත් පසුවන තුරු වත්තල් සිටි ඔහු වෙඩි තැබූ බව කියන වෙලාව වනවිට එම ස්ථානයට පැමිණියේ කෙසේ දැයි සී.සී.ටී.වී දර්ශන විමසා බලන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.
ඇය කළ ප්‍රකාශය මෙසේය.
“පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිහින් තියෙන්නේ මගේ අයියගේ දරුවා. පොඩි කාලෙ ඉඳන් ඒ දරුවා හදා ගත්තේ මමයි. එයා අපරාධවලට සම්බන්ධවන කෙනෙක් නෙමෙයි. “
“ ඔය මොරගහහේන වෙඩිතැබීම සිද්ධවුන දවසේ මගේ දරුවා ඉඳලා තියෙන්නේ වත්තල සුපිරි වෙළෙඳසලක එයාගෙ ගෑනු ළමයා එක්ක. එකොලහයි ගානට වත්තල හිටපු ළමයෙක් ඒ වෙලාවටම මොරගහහේනෙදි වෙඩි තින්නේ කොහොමද?. මේ විදිහට හොයන්නේ බලන්නෙ නැතිව මේ කොල්ලො මලා දන එක නවත්වන්න. අපේ දරුවාට වුන අසාධාරණයට හරි විමර්ශනයක් කර දෙන්නැයි මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ රටේ කවද්ද සාධාරණයක් සිද්ධවුනේ. පොලිසියට මොනවාහරි දෙයක් ඔප්පු කරන්න බැරිවුනාම අහිසංසක දරුවෙක් බලෙන් අරන් ගිහින් වෙඩි තියලා මරලා දානවා. මගේ දරුවා මිනී මරන්න තියා සතෙකුටවත් ගලකින් ගහන දරුවෙක් නෙමෙයි. මේ රටේ යුක්තිය තිබෙනවා නම් කවුරුහරි කමක් නෑ ඉදිරිපත් වෙලා අර වත්තල සුපිරිවෙළෙඳසලේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කර අපට සාධාරණයක් කරන්න.
අපි කියනවා ඒ කැමරා ටික බලලා අපට සාධාරණයක් ඉෂ්ඨ කරන්න බැරිනම් මේ රටේ යුක්තිය නෑ. හැමදාම කොතන බැලුවත් අහිංසකයො මරලා දානව බල්ලො වගේ… පස්සේ තුවක්කු විසිකරනවා. ඔය මගේ දරුවට වෙඩි තියපු තැන වැටිලා තිබුණ දුරකථනය එයාගෙ එක නෙමෙයි. හෙල්මට් එක එයාගෙ එක නෙමෙයි. ඒ සෙරෙප්පු එයාගෙ නෙමෙයි. සෙරෙප්පුවල සයිස් වෙනස්. ඉතින් අපි කොහොමද මේ කියන ඒවා පිළිගන්නේ.
ගමේ අය කියනවා එතන එක වෙඩි සද්දයයි ඇහුනෙ කියලා. ඒ වුනාට දරුවගේ ඇඟේ වෙඩි පහර පහක් තිබ්බා. මගේදරුවත් වෙඩි තිබ්බා නම් වෙඩි සද්ද කීයක් ඇහෙන්න ඕනද?.
මේ දරුවා මත්ද්‍රව්‍ය පාවිචිච් කරනවා ද නැද්ද කියලා ගමේ අයගෙන් අහන්න පුලුවන්. දැන් මට මගේ දරුවා නැතිවෙලා ඉවරයි. හැබැයි එයාට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන. එකයි මම පොලිස්පති ඇතුලු හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ “ ඇය පැවසුවාය.
හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළබවට චෝදනා කර ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු කෝප්‍රල්වරයෙක් මෙන්ම ගුවන් හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පොලිසිය විසින් ඊයේ වෙඩි තබා ඝාතනය කර තිබිණි.
මේ වෙඩි තැබීමේ චෝදනාව සම්බන්ධව මේ වනවිට ගුවන් හමුදාව විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත. (දිනමිණ පුවත්පත ඇසුරින්)