කීර්ති ප්‍රනාන්දු –
-
රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න ඉදිරිපත් වුනාට ස්තුතියි..ඒත් මේ වගේ දුෂ්කර අවස්ථාවක රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන රාජ්‍ය මුදල් වියදම් කරමින් විච්චූරණ කිරීම අපවත් වී වදාල නා හිමියන්ටත් කරන අගෞරවයක්…
මිනිස්සුන්ට තුන් වේල කන්න නැති මෙවැනි අවස්ථාවක දී අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය අනවශ්‍ය බවත්, මෙවැනි මොහොතක මෙම ආදාහන පූජෝත්සවය සඳහා මුදල් වියදම් කිරීම නා හිමියන්ට කරන අගෞරවයක් බවත් වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පැවසූහ..
ලංකාසර වෙත විශේෂ ප්‍රකාශක් කරමින් උන්වහන්සේ කීවේ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට සුදුසු බව තීරණය කර රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත් වීම නා හිමියන්ට කළ ගෞරවයක් ලෙස පිළිගන්නා නමුත් එවැනි මැදිහත් වීමක් මේ අවස්ථාවේ දී රජයෙන් අපේක්ෂා නොකරන බවය.
“ හංගන්න අවශ්‍ය නෑ. ආණ්ඩුවට සල්ලි නෑ. ජනතාවගේ අත්‍යාවශ්‍ය දේ වත් සම්පාදනය කරන්න පුලුවන් විදිහේ ආර්ථික ස්ථාවරයක් ආණ්ඩුවට නැති අවස්ථාවක් මේක. මිනිස්සුන්ට තුන්වේල කන්න නෑ. එවැනි අවස්ථාවක රජයෙන් රුපියලක් හෝ මේ ආදාහන පූජෝත්සවයට වියදම් කිරීම නායක හාමුදුරවන්ට කරන අගෞවයක්. “
“ඒ නිසා හිතාධ්‍යාශයෙන් මෛත්‍රී සහගතව ඒ රාජ්‍ය අනුග්‍රහය ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්නෙ නායක හාමුදුරවන්ගෙ ගෞරවය ආරක්ෂා කරගන්න. “
මේක සංදර්ශනයක් කරන අවස්ථාවක් නොවෙයි. ඉතා චාම් පුණ්‍ය කටයුත්තක් ලෙස සලකා අප විසින් මෙම ආදාහන පූජෝත්සවය සංවිධානය කරනවා.
“අපේ දායකයෝ විශාල පිරිසක් සිටිනවා. ඒ අයගෙ උදවු ඇතිව සහ අපට මේ කටයුතු රාජ්‍ය අනුග්‍රහය නොමැතිව කර ගත හැකියි. “
පල්ලේගම හේමරතන නා හිමියෝ කීහ.
අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත් නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කොට තිබෙන බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී හෙට (22) සෙනසුරාදා සවස 2.30ට ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව ශ්‍රී දේහය ආදාහනය කිරීම එදින සවස 5.00ට මහාවිහාරීය ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතය