මින්ක් සතුගෙන් ඇති වුණු කොරෝනා ප්‍රභේදය දැනට පුද්ගලයන් 214 දෙනෙකුට ආසාදනය වී ඇතැයි ඩෙන්මාර්ක් සෞඛ්‍ය ආයතනය වන එස්එස්අයි පෙරේදා (06) නිවේදනය කළේය.
මින් රෝගීන් 200 ක් ඩෙන්මාර්කයේ උතුරු ජුට්ලන්ඩ් කලාපයෙන් අනාවරණය වී තිබේ. මෙම කලාපයේ මින්ක් ගොවිපලවල් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. මෙම වෛරසය දැනටමත් රට පුරා පිහිටි මින්ක් අභිජනන මධ්‍යස්ථාන 216 කින් සොයාගෙන ඇතැයි පැවසේ.
මේ තොරතුරුත් සමග ඩෙන්මාර්ක රජය පසුගිය බදාදා නියෝග කළේ රටේ සියලුම සතුන් – එනම් සතුන් මිලියන 15 ත් 17 ත් අතර ප්‍රමාණයක් මරා දැමිය යුතු බවයි. ඊට හේතු වී තිබුණේ වැඩි වශයෙන් ආසාදිත මින්ක් සතුන් තුළ වෛරසය විකෘති වීමේ අවදානම වැඩි වීමත් එම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේක්ෂණය වීමේ සම්භාවිතාව ඉහළ යෑමත් ය.
ඩෙන්මාර්ක් සෞඛ්‍යය ආයතනය අනුව කොවිඩ් වෛරසය සඳහා දැනට නිපදවා ඇති එන්නත් මින්ක් සතුන්ගෙන් ඇති වූ මෙම වෛරස් ප්‍රභේදයට එරෙහිව අඩු ලෙස ක්‍රියා කරනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මේ වනවිට මින්ක් ගොවිපල වැඩි වශයෙන් පවත්වාගෙන යන ඩෙන්මාර්කයේ උතුරු ජුට්ලන්ඩ් හි කලාප හතක් හුදකලා කර තිබේ.
ඩෙන්මාර්කයේ හජරින්ග්, ෆ්රෙඩ්රික්ෂාව්න්, බ්රන්ඩර්ස්ලෙව්, ජමර්බර්ග්ට්, තිස්ටඩ්, වෙස්ටිමර්ලන්ඩ් සහ ලේසි යන මහ නගර සභාවල දේශීය පොදු ප්‍රවාහන සේවය සඳුදා සිට අත්හිටුවනු ඇත. අවන්හල්, පිහිනුම් තටාක සහ ශාරීරික යෝග්‍යතා මැදිරි වසා දැමීමට තීරණය කර ඇත.