ශ්‍රියානි විජේසිංහ –
කාසල් වීදියේ කාන්තා රෝහලට ඉන්කියුබේටර් ( Incubator) යන්ත්‍ර අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලීන් වෙතොත් වහාම ඉදිරිපත් වන්නැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ඉල්ලීමක් කරයි.
රාගම ප්‍රදේශයේ මවක් පසුගිය ඔක්තෝම්බර් 17 වෙනිදා අඩුමාසයෙන් බිහිකල දරුවන් සය දෙනා වෙනුවෙන් කාසල් රෝහල තුළ ඉන්කියුබේටර් 5ක් වෙන් කෙරුණ අතර අනෙක් දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉන්කියුබේටර් යන්ත්‍රය ලබා දිමට සිදුවිය.
මෙසේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවා ඉපදුණු දිනට පසුවදා මිය ගිය නමුත් කාසල් කාන්තා රෝහලේ සිටි දරුවන් 5ස් දෙනා නිරෝගීව තමවත් රෝහලේ ඉන්කියුබේටර් තුළ රදවා ඇතැයි අධ්‍යක්ෂවරයා කීය.
කාසල් රෝහලේ ඉන්කියුබේටර් වල රඳවා තිබනෙ මෙම දරුවන් 5 දෙනා තවත් මාස දෙකක පමණ කාලයක් රඳවා තැබිමට සිදුව ඇති බවත් ද හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් මෙම දරුවන් පස්දෙනා වෙනුවෙන් ඉන්කියුබේටර් 5ක්ම මාස දෙකක කාලයක සිට වෙන්කර ඇති බැවින් අඩු මාසෙන් උපදින වෙනත් දරුවන්ට ඉන්කියුබේටර් ලබාදිමට නොහැකි වන තත්ත්වයක් තුළ එම දරුවන් ඉන්කියුබේටර් තිබෙන රෝහල්වෙත මාරුකර හැරීමට සිදුව ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසුවේය.
මෙම තත්ත්වය ළදරුවන්ගේ ජිවිතවලට එතරම් සුභදායක තත්ත්වයක් නොවන බවද එසේ මාරුකිරීම අවදානම් සහගත බවද හෙතෙම පෙන්වාදේ.
අඩු මාසෙන් දරු ප්‍රසූතිය සිදුකළ යුතු මව්වරුන්ව ඉන්කියුබේටර් යන්ත්‍ර තිබෙන රෝහල් වෙත මාරුකර හැරීමට සිදුව ඇති බවද වෛද්‍ය දන්තනාරායන ලංකාසර පැවසුවේය.