අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර ඉවත්කර එතැනට වෙනත් නිලධාරියෙක් පත්කිරීමට මේ වන විට දේශපාලන ආශිර්වාදය ඇතිව ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මෙහෙයුමක් ආරම්භකර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
එම මෙහෙයුමට සම්බන්ධව සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සමීප නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි.
මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගලභූමියට පහරදීම හා සිදුකරන විමර්ශන මේ වන විට සිදුවන්නේ කාවින්ද පියසේකර ගේ ඝෘජු අධික්ෂණයෙනි. මේ වන විට ඊට බලපෑම් කිරීමට පොලිස්පතිවරයාට පවා නොහැකි තත්ත්වයක් හමුවේ ඇතැම් නිලධාරීන් උත්සාහ දරන්නේ තමන්ගේ රූකඩයක් ලෙස හැසිරෙන නිලධාරියෙක් එම පුටුවට පත්කරගැනීමට බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
මේ වන විට විවිධ චෝදනාවන්ට ලක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ආශිර්වාදයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට කථාකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරය ලබාගැනීමට කැමතිදැයි විමසා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. එහෙත් ඒ කිසිදු නිලධාරියෙක් එම තනතුර ලබාගැනීමට කැමැත්තක් නොදක්වා ඇති බවද සඳහන්ය.
පොලිස් ඇමතිවරයාගේ සමීපතයෙක් ලෙස සැලකෙන අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වන විට නිල නොලත් පොලිස්පති ලෙස කටයුතු කරන බවත් පොලීසියේ ස්ථානමාරුවීම් සහ තනතුරු පත්කිරීම් සියල්ල දැන් සිදුවන්නේ එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බවත් පොලීසිය තුළ දැඩි කථාබහක්ද මේ වන විට පවතී.
මෑතකදී එම ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් යම් ඉල්ලීමක් කර ඇති බවත් ඊට කාවින්ද පියසේකගෙන් සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම ස්ථාන මාරුවීම සිදු කිරීමට උත්සහ දරන බවත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි කතාබහක් මේ වන විට ඇතිවී තිබේ.