මැතිවරණ කොමිසම මේ වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන බවට සහතිකයක් ලබා දී ඇති බැවින් මෙම මැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආඥාවක් නිකුත් කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දැනුම් දුන්නේය.
ඒ අනුව පවතින මැතිවරණ නීති රීතිවලට අනුකූලව මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින අතර මැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනවශ්‍ය බවට ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මහාචාර්ය ජී.එල් පීරිස්, රංජිත් මද්දුම බණ්ඩාර, දයාසිරි ජයසේකර , එම් ඒ සුමන්තිරන් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් ක් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව, මැතිවරණ කොමිසම පවතින මැතිවරණ නීතිරීතිවලට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දී ඇති පොරොන්දුව මත, මෙම පෙත්සම් සළකා බැලීම බැහැර කරන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, සංජීව ජයවර්ධන සහ ලක්මිණී වරුසවිතාන යන නීතිඥවරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.







