ගෝලීය කොවිඩ් වසංගතය සුව නොවී ඇති ඇති පසුබිමක යුවාන් වැන්ග් 05 නෞකාව පිළිගන්නට චීන තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවය සඳහා මුව ආවරණයක් හෝ නොපැළඳ ගිය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර නෞකාවේ කපිතාන්වරයාට අත අත දෙන්නට ගිය අවස්ථාවේ දී කපිතාන්වරයා එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ සිද්ධිය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී තිබේ.
ඉන්දියාවේ දැඩි විරෝධය නිසා ලෝක අවධානයට ලක් වෙමින් විශාල ආන්දෝලනයකට තුඩු දුන් චීන පරීක්ෂණ නෞකාව අද (16) උදෑසන 8.30ට පමණ හම්බන්තොට වරායට ඇතුළු විය. වරාය ප්‍රවේශය නිමිතිකරගෙන චීන තානාපති කාර්යාලය එහි උත්සවයක් සංවිධානය කර තිබිණි.
එම උත්සවයට චීන තානාපතිවරයා ඇතුළු චීන දූත මණ්ඩල සාමාජිකයන් ද විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.
මාධ්‍ය වාර්තා කළේ දැඩි සෞඛ්‍ය ආරක්ෂක නීති අනුගමනය කරමින් පැවති එම උත්සව අවස්ථාවේ දී මුව ආවරණයක් නොපැළඳ සිටි විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර කැපී පෙනුන බවය.
මුව ආවරණයක් හෝ නොමැතිව නැවේ කපිතාන්වරයාට අතට අත දීමට ගිය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ආචාරය පිළි නොගත් කපිතාන්වරයා සරත් වීරසේකර ඇතුළු සියලු දෙනාට පොදුවේ අත ඔසවා සමාචාර කළේය.
කපිතාන්වරයා මුව ආවරණයක් පැළඳ සිටි චීන තානාපතිවරයාට හෝ අතට අත දී ආචාර කළේ නැත.