මාවනැල්ල දනාගම නෑහිඳ ප්‍රදේශයේ දී පුද්ගලයෙක් විසින් එල්ල කළ තියුණු ආයුධ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ.
ඝාතනය සිදුවී ඇත්තේ අද (01) පස්වරුවේදී ය. තියුණු ආයුධ පහර එල්ල වීමෙන් අනතුරුව තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් මාවනැල්ල රෝහල වෙත රැගෙන ගිය ද ඉන් තිදෙනෙක් ඒ වනවිටත් මිය ගොස් සිට ඇත.
ඝාතනය වූ පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙක් ද වෙති. ඔවුන් අවුරුදු 58 සහ 60 වයස්වල පසුවන්නන්ය. තුවාල ලැබූ කාන්තාවගේ හිසට තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වි ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලබා ඇති කාන්තාව මිය ගිය එක් කාන්තාවකගේ දියණියකි.
මෙම ඝාතනය සිදුකළ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් බව පොලිසිය සඳහන් කළේය. ඔහු 34 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයෙන් පසු පලා ගොස් සිටි සැකකරු අත් අඩංගුවට ගැනිමට පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර පැය කීපයක් තුළ ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකි වි තිබේ.
මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.







