අංජුල මහික වීරරත්න –
ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන හමුවේ සඳහන් කර තිබේ.
රුවන් විජයවර්ධන හා ජපන් තානාපතිවරයා අතර මෙම හමුව මෙරට ජපන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ගිවිසුම අත්සන් කළ පසු යළිත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කියා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වූ පසු ජපන් රජය මෙරටට ආයෝජන ව්‍යාපෘති ගණනාවක් හරහා උදව් කිරීමට සුදානමින් සිටින බව ද රුවන් විජයවර්ධන මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සිය ජපන් සංචාරයේදී මේ කාරණය ගැන සාකච්ඡා කළ බවත් එහිදී ද ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවත් රුවන් විජයවර්ධන තවදුරටත් කීවේය.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.







